නීතියේ ආධිපත්‍ය බරපතල ලෙස බිදදැමූ වසරක් – මානව හිමිකම් පිළිබද විද්වත් සංසදය

 

ගෙවීයන 2011 වර්ශයේදී ශ්‍රීලංකාවේ නීතිය සහ අධිකරණ ක්‍රියාවලිය කෙරෙහි පැවති මහජන විශ්වාසය බරපතල ලෙස බිදවැටීම, සියළුම පිළිගත් සම්ප්‍රදායන් සහ මූලධර්ම බිදදමා ඌණ උපයෝජන පනත සම්මතකරගැනීම හා යුද්ධය නිමාවී වරස දෙකකට පසුවත් උතුරු නැගෙනහිර ජනතාවගේ අයිතීන් තහවුරු නොවීම වැනි බරපතල තත්වයන් නිරීක්ෂණය කළ බව ”මානව හිමිකම් පිළිබද විද්වත් සංසදය” පවසයි. එම සංසදය අද (12) සවස කොළඹ පැවති මාධ්‍ය හමුවකදී එහි මාධ්‍ය ප්‍රකාශක ආචාර්ය අරුණ කරුණාතිලක මහතා මේ බව පැවසීය.

 

මෙහිදී වැඩිදුරටත් කරුණු දැක්වූ ආචාර්ය වරයා උතුර නැගෙනහිර ප්‍රදේශවල සහ එයින් බැහැර ප්‍රදේශවල සිදු කෙරෙන පුද්ගල පැහැරගැනීම් අතිශය බරපතල තත්වයක් බව පැවසීය. යුද්ධය නිසා අවතැන්වූ ජනතාවගෙන් 90%ක් යළි පදිංචිකර ඇති බව රජය පැවසූවද එසේ පදිංචි කළ පිරිස් වලින් 75%ක් ජීවත් වන්නේ තාවකාලික නිවාසවල බව හෙළි කලේය. මේ තත්වය තුළ බුද්ධිමතුන්, සිවිල් ක්‍රියාකාරිකයින් සහ මහජනතාව, ව්‍යාපාරිකයින් ඇතුළු සියළු දෙනාගේ නිහැඩියාව අනතුරුදායකබව කීවේය. රටේ යහපාලනය සහ මානව හිමිකම් පිළිබදව මීටවඩා ගැඹුරින් සිතාබලා ක්‍රියා කිරීමේ අවශ්‍යතාව අවධාරණය කලේය.

මෙහිදී අදහස් දැක්වූ සංසදයේ නීති කටයුතු ලේකම් නීතීඥ චමින්ද ගුණසේකර මහතා, විශ්ව මානව හිමිකම් ප්‍රඥප්තියෙන් තහවුරු කර තිබෙන සහ ශ්‍රී ලංකාවේ ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවෙන් අවරණය කර තිබෙන මූලික මිනිස් අයිතීන් කඩකරමින් ආණ්ඩුව ලබාගන්නා අධිකරණ නියෝග අනතුරු දායක ප්‍රවණතාවක් වී ඇතිබව කීය. රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමයට විරුද්ධව සහ විශ්වවිද්‍යාල ආචාර්ය වරුන්ගේ සංගමය ගෙනගිය වෘතීය අරගලයට විරුද්ධව අධිකරණ වාරණ නියෝග ලබාදීම උදාහරණ ලෙස දැක්වීය.

එමෙන්ම ජනමාධ්‍ය හිමිකරුවන් සහ මාධ්‍ය ප්‍රධානීන් සමග භෝජන සංග්‍රහ පවත්වමින්ද දුරකථන ඇමතුම් මගින් ප්‍රවෘත්ති පලකිරීම හෝ නොකිරීමට අදාල නියෝග දීම ආණ්ඩුවේ ප්‍රධානීන් විසින් ජනමාධ්‍ය නිදහස උල්ලංඝණය කරමින් සිටින බව හෙළි කලේය. එයට අවනත නොවන මාධ්‍යවේදීන් අතුරුදහන් කර හෝ බියවද්දා මර්ධනය කිරීම පිළිබද ප්‍රගීත් එක්නැලිගොඩ අතුරුදහන් කිරීම සහ උදයන් මාධ්‍යවේදී කුගනාදන් මහතාට පහරදී රට හැරදා යන තත්වයකට පත්කිරීම විශේෂ අවස්ථාවක් බව පෙන්වා දුන්නේය. මේ සමස්ත තත්වය ජනතාව විසින් ඉක්මනින් තේරුම් ගතයුතු බවත් එය කිසිසේත්ම සුභදායී නොවන අතර ආණ්ඩුවේ මර්ධනය වැළැක්වීමට සියළුදෙනා එක්විය යුතු බව පෙන්වා දුන්නේය.

 

Facebook
Twitter
LinkedIn

උණුසුම් පුවත්