හෙද සේවාව පළාත් සභාවලට පැවරීමට සමස්ත ලංකා හෙද සංගමයේ විරෝධය

2012. ඔක්තොම්බර් 05 දින ආණ්ඩුව නිකුත් කළ 1779 දරන ගැසට් නිවේදනය මගින් පළාත් හෙද සේවාවන් ඇති කිරීම ට එරෙහිවත් විරෝධතා ව්‍යාපාරයක් ආරම්භ කරන බව සමස්ත ලංකා හෙද සංගමය පවසයි.

අද කොළඹ සමස්ත ලංකා සුව සේවා සංගම් කාර්යාලයේදී පැවති මාධ්‍ය හමුවක් අමතමින් සමස්ත ලංකා හෙද සංගමයේ ප‍්‍රධාන ලේකම් එස්. බී. මැදිවත්ත මහතා විසින් මේ බව කියාසිටියේය.

මෙරට හෙද සේවාවේ බදවා ගැනීමේ බලතල මෙපමන කලක් පැවතියේ මධ්‍යම රජය සතුව වන අතර ඒ අනුව සියළුම හෙද හෙදියන්ගේ පත්වීම් බලධාරියා වුයේ සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල් හෝ රාජ්‍ය සේවා කොමිෂන් සභාවය. එම තත්වය හෙද සේවාව දැනට අත්කරගෙන ඇති වෘත්තිය ගුණාත්මකභාවයට දැඩි පිටුවහලක් වූ අතර දේශපාලන අධිකාරියට සහ නිලධාරීන්ට හෙද සේවාවට අනවශ්‍ය ලෙස ඇගිලි ගැසීමට තිබු අවස්ථාව අඩුවිය. පරිපාලන ගැටළු සාපේක්ෂව අවම මට්ටමක පැවතිනි. රටේම හෙද හෙදියන් සදහා එකම නීතියක් ක‍්‍රියාත්මක  වූ බව ඔහු පැවසීය.

නමුත් මෙලෙස හෙද සේවාව පළාත් සභාවලට පැවරීම හරහා හෙද සේවාවේ ගූණාත්මකභාවය පිරිහී යන අතර හෙද සේවාව පවත්වාගෙන යාම මහත් අර්බුදයට යාම සිදුවන බවත් එක් හෙදියක් පුහුණු කිරීමට විශාල මුදලක් වෙන් කිරීමට පළාත් සභාව අසමත්වීම හරහා හෙද සේවාව පවත්වාගෙන යාමට නොහැකි වන බවද ඔහු මෙහිදී ප්‍රකාශකර සිටියේය.

එබැවින් මෙම ගැසට් නිවේදනය වහාම අවලංගු කිරීමට පියවර ගන්නා ලෙස ආණ්ඩුවට බලකර සිටින බවත් ඊට විරෝධය දැක්වීම සදහා ඔක්. 31 (හෙට) දින දහවල් 12.00 ට සෞඛ්‍ය අමාත්‍යංශය ඉදිරිපිටදී දැවැන්ත උද්ඝෝෂණයක් පැවැත්වීමට තම සංගමය කටයුතු යොදා ඇති බවත් මැදිවත්ත මහතා මෙහිදී පැවසීය.

Facebook
Twitter
LinkedIn