ආණ්ඩුවේ චුයිංගම් තියරිය

 

චුයිංගම් හැපීම කිසිදු වැඩකට ඇති දෙයක් නොවන බව එය හපන අය මෙන්ම දකින අයද හොඳින්ම දනිති. එහෙත් චුයිංගම් අලෙවියේ අඩුවක් ඇත්තේ නැත. එය කොතෙක් හපමින් සිටිද්දී කුසට අහරක් බවට පත් නොවේ. නොකඩවා හැපීම ආමාශය සේම බලාසිටින්නන්ද රවටනවා පමණමය. කෙසේ වුවද චුයිංගම් හැපීමේ අත්හළ නොහැකි පුරුද්ද හේතුවෙන් බොහොමයක් චුයිංගම් හපන්නෝ එය දිගටම කරගෙන යති. චුයිංගම් හැපීම පුද්ගල රුචි ඇරුචිකම් මත සිදුවන්නක් බැවින් සහ ඒබව දකින්නන් එය බරපතළව නොගන්නා බැවින් සමාජයට එහි වැඩි බලපෑමක් නැත. එහෙත් ආණ්ඩුවක් චුයිංගම් හපනවිට තත්වය වෙනස්ය. රටවැසියාට එය බලාසිටීමට අමතරව බොහෝ දේ ඉවසා දරා සිටීමට සිදුවන බවනම් පැහැදිලිය.

මහින්ද රාජපක්ෂ ආණ්ඩුවේ බොහෝ දෙනෙක්ද මේ දිනවල චුයිංගමයක් හපමින් සිටිති. ගෝඨාභය රාජපක්ෂ ආරක්ෂක ලේකම්වරයාගේ සිට විමල් වීරවංශ, චම්පික රණවක වැනි අමාත්‍යවරුන් දක්වා කොටස් මෙම ගණයට අයත්ය. ඔවුන් සියලූ දෙනා හපමින් සිටින චුයිංගමය වන්නේ, 13වැනි ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධනය හෙවත් පළාත් සභා අහෝසි කිරීමේ සටන් පාඨයය. එය චුයිංගමයක් වන්නේ, එය පුනරුච්චාරණය කරන්නන්ගේ අරමුණ එය අහෝසි කිරීම නොව තමන් යමක් කරමින් සිටින බව මහජනයාට ප්‍රදර්ශනය කිරීම පමණක් වන නිසාය. අනෙක් අතට ආණ්ඩුවේ මෙම හදිසි පළාත් සභා විරෝධය නිර්මාණය වන්නේ, පළාත් සභා රටට සුදු අලියෙක්ව ඇති නිසා හෝ පළාත් සභා, රට ඛෙදුම්වාදයේ දිශාවට ගෙනයන්නනක් නිසා හෝ නොවේ. ඇත්ත වුවමනාව එය වූයේනම් දැනට දශක 21/2කට වැඩි කාලයක් ජනතාවගේ අප්‍රසාදය මත කි්‍රයාත්මක වූ 13වැනි ආණ්ඩු ක්‍රම ව්‍යවස්ථාව මෙයට කලින් අහෝසි වී තිබිය යුතුය.

ඉන්දියානු බලහත්කාරය විසින් අඹරවන ලද අතින් ඉන්දු-ලංකා ගිවිසුමට අත්සන් තැබූ ජේ.ආර්. ආණ්ඩුව 13වැනි ආණ්ඩු ක්‍රම ව්‍යවස්ථා සංශෝධනය මගින් පළාත් සභා ක්‍රමය 1987දී මෙරට ස්ථාපිත කරවූයේ මුළු මහත් රටේ ජනතාව ඊට එරෙහිව විරෝධතා දක්වද්දීය. ඊනියා ජනමත විචාරණයක් මගින් දීර්ඝ කරගත් 2/3ක පාර්ලිමේන්තු බලය පාවිච්චි කර ගනිමින් එම ව්‍යවස්ථා සංශෝධනය සම්මත කර ගැනීමට ජේ.ආර්. ආණ්ඩුව සමත් විය. අනතුරුව බලයට පත් කිසිදු ආණ්ඩුවකට පාර්ලිමේන්තුවේ 2/3ක බලයක් නොවූ නමුදු මහින්ද රාජපක්ෂ ජනාධිපතිවරයා 2010 මහමැතිවරණයේදී යුධ ජයග්‍රහණය අලෙවි කරමින්ද එජාපයෙන් මන්ත්‍රීවරුන් මිලදී ගනිමින්ද 2/3ක ආණ්ඩුවක් පිහිටුවා ගත්තේය. දැන් පළාත් සභා අහෝසියක් පිළිබඳ සටන් පාඨ ඔසවන ආණ්ඩුවේ අමාත්‍යවරුන්ගේ එදා මුක පූට්ටු වී තිබූ ආකාරය ජනතාවට අමතක වන්නට ඉඩක් නැත. ඒ මොහොතේදී ආණ්ඩුවේ ප්‍රමුඛතාව වූයේ පාර්ලිමේන්තුවේ 2/3 පාවිච්චි කොට තව තවත් බලය තහවුරු කර ගැනීමය. ඒ වෙනුවෙන් ජවිපෙ මැදිහත්වීම ඇතිව සියලූ පක්ෂවල එකඟතාවයෙන් සම්මත කරගැනුණා වූද ස්වාධීන කොමිසන් සභා ස්ථාපනය මගින් රටේ ප්‍රජාතන්ත්‍රවාදය සඳහා යම් තරමකින් ඉඩකඩක් නිර්මාණය කළා වූද 17වැනි ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධනය හකුළා දැමිණි. ඒ වෙනුවට සම්මත කර ගැනුණේ, ස්වාධීන කොමිසන් සභා අහෝසි කර සියලූ බලය එකාධිපති ලෙස ජනාධිපතිවරයා අතට ඒකරාශී කරන්නාවූද ජනාධිපතිවරයාට ජනාධිපතිවරණයට ඉදිරිපත් විය හැකි වාර ගණනේ සීමාව ඉවත් කරන්නා වූද ප්‍රජාතන්ත්‍රවිරෝධී 18වැනි ආණ්ඩු ක්‍රම ව්‍යවස්ථා සංශෝධනයය.

දැන් පළාත් සභා අහෝසිය පිළිබඳ ආණ්ඩුවේ සටන් පාඨ පුවරුව සවිකොට ඇත්තේ කණු දෙකක් මතය. එක් කණුවක් වන්නේ, ආණ්ඩුවට අපේක්ෂා කළ තරම් ඉක්මණින් දිවි නැඟුම පනත පාර්ලිමේන්තුවේ සම්මත කර ගැනීමට පළාත් සභා බාධාවක් වීමය. එම පනත සම්මත කිරීමට නම් සියලූ පළාත්වලින් අනුමැතිය ලැබී තිබිය යුතු බවට ශ්‍රේෂ්ඨාධිකරණයෙන් තීන්දුවක් ලැබී තිබූ අතර උතුරේ පළාත් සභාවක් ස්ථාපිත කර නොමැති බැවින් ආණ්ඩුකාරයාගේ කැමැත්ත ප්‍රමාණවත් නොවන බවටද නඩු කටයුත්තක් පවතී. දිවි නැඟුම පනත යනු සමෘද්ධි බැංකුවල සියලූ අරමුදල්වල ඍජු පාලනය රාජපක්ෂ පවුලේ සාමාජිකයෙකු අතට පත්වන්නක් බැවින් ඊට මැස්සෙකුගෙන් වත් බාධාවක් එල්ලවීම රාජපක්ෂ ආණ්ඩුවට ඉවසිය හැක්කක් නොවේ. එබැවින් අධිකරණයෙන් ලැබීමට නියමිත තීන්දු තමන්ගේ වාසියට හරවා ගැනීම සඳහා නීත්‍යානුකූල සේ පෙනෙන අනීතික ක්‍රියාමාර්ග කරා පවා රාජපක්ෂ ආණ්ඩුව එළඹ තිබෙන්නේ, සදාචාරයේ සියලූ සළුපිළි උනා තබමිනි. දිවි නැඟුම නඩුව විභාග වන දිනවලම ශ්‍රේෂ්ඨාධිකරණයේ අගවිනිසුරුවරියගේ සැමියා වන ප්‍රදීප් කාරියවසම් මහතා අල්ලස් දූෂණ කොමිසම හමුවට කැඳවනු ලැබීමත් විභාග වූ තවත් නඩුවක තීන්දුව දීමට නියමිතව තිබියෙදී ඔහුට එරෙහිව තකහනියේ කොළඹ මහේස්ත්‍රාත් අධිකරණයේ නඩු පැවරෙන්නේත් ගොඩනැගෙන මෙම පරිසරය තුළ බවට මහජනතාවගේ සැකය සහේතුකය.

පළාත් සභා විරෝධයේ දෙවැනි කණුව වන්නේ, ආණ්ඩුවට එදාවේල ගතකර ගැනීම සඳහා එය සටන් පාඨයක් කර ගැනීමය. “දේශප්‍රේමී අලෙවිකරණය” රාජපක්ෂ ආණ්ඩුවේ සාර්ථක අලෙවි උපක්‍රමයක් වෙයි. මානව හිමිකම් කොමසාරිස්වරිගේ ලංකාගමනයට එරෙහිව ඊනියා දේශප්‍රේමී ඇමතිවරුන් උපවාස කර පුවත් නිර්මාණය කරන අතර මානව හිමිකම් කොමිසමේ ලංකාවට එරෙහි යෝජනා සම්මතයන්ට එරෙහිව දේශප්‍රේමී උද්ඝෝෂණ වීදි බස්වනු ලබයි. දැන් හදිසියේ නින්දෙන් අවදිවූවන්ගේ 13වැනි සංශෝධනය අහෝසි කිරීම පිළිබඳව මාධ්‍ය හමු, සම්මන්ත්‍රණ ආදී “මහා මෙහෙයුම්” ක්‍රියාත්මකය. මේ සියල්ලේ එක් රටාවක් සියුම්ව අධ්‍යයනය කරන්නෙකුට හමුවේ. එනම් රටේ ජනතාව අතිශය පීඩාවට පත්ව සිටින අවස්ථාවල මෙම ඊනියා දේශප්‍රේමී සටන්පාඨ වීදි බැසීමය.

2012 වර්ෂයේ ජූලි මාසය වන විට රාජ්‍ය ණය බර රුපියල් බිලියන 6160කි. ජනවාරි සිට ජූලි දක්වා පමණක් එය රුපියල් බිලියන 1000කින් ඉහළ ගොස් තිබේ. රටක් වශයෙන් 1948-2005 කාලය තුළ ගත් ණය ප්‍රමාණයට වඩා 2005-2012 වත්මන් ආණ්ඩු කාලය තුළ ණය ලබාගෙනය. අයිඑම්එෆ් – ලෝක බැංකු වට්ටෝරුවට අනුව රටේත් ජනතාවගේත් ආර්ථීකය “කළමනාකරණය වීමට” ඉඩදී තිබේ. ජීවන වියදම වැඩිවීමට සාපේක්ෂව රාජ්‍ය සේවකයට වැඩිවිය යුතු නමුත් ආණ්ඩුව මෙතෙක් ලබා නොදී ඇති රු.13442කුත් ශත පණහක් වන මුදල ලබා ගැනීම සඳහාත් සියලූ වැඩකරන ජනතාවට සාධාරණ වැටුප් වැඩිවීමක් ලබාගැනීම සඳහාත් වෘත්තීය සමිති වීදි බසිමින් සිටියි. ආචාර්යවරුන්ගේ ඉල්ලීම් හමුවේ ආණ්ඩුවේ මුග්ධ හැසිරීම පෙන්නුම් කරන්නේ, ආචාර්ය ෂූමාකර් කී පරිදි රටක සංවර්ධනයේ මුල් ගල වූ අධ්‍යාපනයට අද කුඩම්මාගේ සැලකිල්ලවත් නැති බවය. දිනෙන් දින ඉහළ යන බඩුමිලත් සහන කප්පාදුවත් සියලූ ජනතාවට බල කර ඇත්තේ, පටි තව තවත් තද කරගන්නටය.

ඉදින් තමන් පත්ව ඇති පීඩාව පිළිබඳවත් ඊට වගකිවයුතු ආණ්ඩුව පිළිබඳවත් ජනතාවට සිතන්නට ඉඩක් නොදී, හපන්නට දෙයක් දෙන්නට ආණ්ඩුවට අවශ්‍යය. චුයිංගම් අවශ්‍ය වන්නේ ඒකටය. නියමිත කාලයටත් කලින් පළාත් සභා මැතිවරණ කැඳවමින් සිටින ආණ්ඩුවෙන්ම පළාත් සභා අහෝසි කිරීමේ ව්‍යාජ සටන්පාඨ මතුකෙරෙන්නේ ඒ නිසාය.

 

Facebook
Twitter
LinkedIn