ආණ්ඩුවේ සතුරන්

රාජපක‍ෂ ආණ්ඩුව උතුරේ ප්‍රශ්නයට විසඳුම් සෙවීම සඳහා පාර්ලිමේන්තු තේරීම් කාරක සභාවක් යෝජනා කර තිබේ. මෙය අලූත් අදහසක් නොවේ. ප්‍රශ්න වලට විසඳුම් සොයන බව පෙන්වීම සඳහා මෙතෙක් පැවති බොහෝ ආණ්ඩු විසින් පට්ටා යන තුරු අත්හදා බලන ලද ආකෘතියකි. ආණ්ඩුවේ මේ උත්සහයද ප්‍රශ්නය විසඳීමට නොව විසඳන බව, විසඳීමට මැදිහත්වී ඇති බව පෙන්වීමටය. නැතිනම් ප්‍රශ්නය නැවතත් මුලට ගෙනයාමට අවශ්‍යතාවයක් නැත.

යුද්ධයෙන් පසු රට තුළ නිර්මාණය වූයේ නව වාතාවරණයකි. රාජපක‍ෂ ආණ්ඩුවට අවශ්‍ය වී ඇත්තේ, තමන් කරපින්නා ගත් නව ලිබරල් ධනවාදය ඒ තුළ හොඳින්ම පැලකර ඉන් මැජික් පෙන්වන්නටය. එහෙත් අවාසනාවකට නව ලිබරල්වාදය දැන් පසුවන්නේ එහි මැජික් පෙන්විය හැකි ජයග්‍රාහී අවධියක නොවේ. ලොව පුරා එහි අසාර්ථකත්වයන් ඇස් පනාපිට ඔප්පු වෙමින් ඇති අතර ඊට එරෙහි ජන අරගල වීදි පුරා ගලායමින් තිබේ. එබැවින් මහින්ද රාජපක‍ෂ ආණ්ඩුවේ ආර්ථීක පෙරමුණ උපන් ගෙයිම අසාර්ථකය.

ආර්ථීකයේ දුබලතාව ප්‍රකාශයට පත්වන්නේ විවිධ ජනකොටස් වල, පීඩිත බලවේගවල දුක්ගැනවිලි ඉදිරිපත් කිරීම්වල සිට ජන අරගල දක්වා පරාසයක අතෘප්තිය මුදාහැරීම් තුළිනි. මැතිවරණ ගණනාවක් පුරා, අයවැය ගණනාවක් පුරා රවටනු ලැබූ තාරුණ්‍යයේ විරෝධයත් පසුගිය සතියේ විරෝධතා උද්ඝෝෂණයක් ලෙස පුපුරා ගියේය. ඒ, ජීවත් වීමේ මාර්ගයක් ලෙස රැකියාවක් ඉල්ලමින්ද 2012 අයවැය මගින් තම ඉල්ලීම් නොසලකා හැරීමට විරෝධය පළකරමින්ද වීදි බට තරුණයින්ගෙනි. සමාජවාදී තරුණ සංගමයේ මෙහෙයවීමෙන් පැවති එම විරෝධතාව සාමකාමී වූ අතර අරමුණ වී තිබුණේ, 2012 අයවැය සම්පාදකයා වූ මුදල් අමාත්‍යාංශයට තම දුක්ගැනවිල්ල ඉදිරිපත් කිරීමය. එහෙත් රාජපක‍ෂ ආණ්ඩුව එම විරෝධතාව පිළිගත්තේ සාමකාමීව නොවේ. තම උපරිම ප්‍රචණ්ඩකාරිත්වය විදහා පාමිනි. පොලීසිය ලවා යකඩ වැට දමා, පාගමන නවතා අධිපීඩන ජලප්‍රහාර, කඳුළුගෑස් ප්‍රහාර හා පොලූ ප්‍රහාර එල්ල කරමිනි. කිහිප දෙනෙකුට රෝහල්ගතවන ලෙස තුවාල සිදුකරමිනි. මෙය ආණ්ඩුවේ උත්තර ලබාදීමේ (විසඳුම් නොවේ.) අලූත් ක්‍රමවේදයක් නොවේ. ආණ්ඩුව, තමන්ගේ අර්ථසාධක අරමුදල බේරා ගැනීම සඳහා උද්ඝෝෂණය කල කම්කරුවන්ට වෙඩිතබා ජීවිතයක් බිලිගැනීමටද කටයුතු කිරීමෙන් අරගල වලට මුහුණ දෙන තමන්ගේ ක්‍රමවේදය කලින්ම හා හොඳින්ම පෙන්වා තිබුණි. තමන්ගේ ‘ගමනට’ බාධාකාරී වන සියලූ දෙනාට කොන්දේසි විරහිතව පහර දෙන බවත් තමන් සමඟ එන සියලූ දෙනාට වරප්‍රසාද ඇති බවත් පෙන්වීමට ආණ්ඩුවට අවශ්‍ය වී තිබේ. හිටපු හමුදාපති සරත් ෆොන්සේකා මහතා දිගින් දිගටම සිරගත කර තබාගැනීමටත් හිටපු අගවිනිසුරු සරත් එන් සිල්වා මහතතා පිළිබඳ පරීක‍ෂණ කමිටුවක් පත්කරනු ලබන්නේත් ඒ අනුවය. ඒ අතරම අයවැයේදී ආණඩුව සමඟ ඡන්දය ප්‍රකාශ කළ පමණින් ශ්‍රී.ල.නි.ප.යේ ජ්‍යෙෂ්ඨයන් පරදවමින් එ.ජා.ප.යේ ග්‍රේරු මන්ත්‍රීවරයා අධ්‍යාපන අධීක‍ෂණ මන්තී්‍රධූරයකින් පිදුම් ලැබේ.

ආණ්ඩුමේ මෙම බොනපාට්වාදී ස්වභාවය දකුණට පමණක් සීමාවූවක් නොවේ. දශක 3ක යුද්ධයෙන් හෙම්බත්ව සිටි උතුරේ ජනතාවට අද මුහුණ පාන්නට සිදුවී ඇති තත්වය අතිශයින් කණගාටුදායකය. යුද්ධය අවසන් අවස්ථාවේදී අතිශය දුෂ්කර කොන්දේසි යටතේ රජයේ පාලන ප්‍රදේශයට පළා ආ ඔවුන්ගේ දෑස්වල තිබූ බලාපොරොත්තු ආණ්ඩුව විසින් විනාශ කරනු ලැබ තිබේ. යුද්ධය අවසන් වී අවුරුදු 2 1/2කට වැඩි කාලයක් ගතවී තිබුණද උතුරේ ජනතාවගේ සිවිල් හා දේශපාලනික අයිතිවාසිකම් ස්ථාපිත කරලීමේ අවශ්‍යතාවය පිළිබඳව ආණ්ඩුවට උනන්දුවක් නැති තරම්ය. ලෝකය, දෙසැම්බර් 10 වන දින ජගත් මානව හිමිකම් දිනය සමරද්දී කිලිනොච්චියේ වැසියාට ඉන් අර්ථ ගැන්වෙන කිසිවක් අදාල නැත. ආණ්ඩුව තවමත් මානව හිමිකම් ලබාදීමට සූදානම් නැත. සමාජ ආර්ථීක වශයෙන් පමණක් නොව භූගෝලීය වශයෙන්ද අතිශය දුෂ්කර පරිසරයක සිටිමින් ජීවත් වීමට පොරබදන ඔවුනට සියලූ හිමිකම් ලබාදී ජීවිතය නගාසිටුවා ගැනීමට දිරි දෙනු වෙනුවට ආණ්ඩුව ඔවුනට තවමත් කරන්නේ ‘සැකකරුවන්’ ලෙස සැලකීමය. මෙය සැබවින්ම සරදම්කාරී යථාර්ථයකි. එල්.ටී.ටී.ඊ. සංවිධානයේ නායකයෙකු වන කේ.පී. ආණ්ඩුවේ අත්අඩංගුවේ පසුවනවා යයි කියවුනද මේ වන තෙක් ඔහු කිසිදු නඩුවක වගඋත්තරකරුවකු හෝ චෝදනාවකට අදාල සැකකරුවෙක් නොවේ. තමන් විසින් පිහිටුවන ලද රාජ්‍ය නොවන සංවිධානයක ප්‍රධානියාව සිටිමින් ඔහු ආණ්ඩුවේ ආරක‍ෂාව ඇතිව උතුරේ සංචාරය කරයි.

එහෙත් ඔහුගේ අණ යටතේ කටයුතු කළ කිළිනොච්චියේ තරුණයන් බොොහම දෙනෙකු අතුරුදහන් වී ඇත. නැතහොත් අත් අඩංගුවට ගනු ලැබ චෝදනා රහිතව රඳවා ඇත. ඒ කොතැනකදැයි ඔවුන්ගේ ඤාතීන්ද දන්නේ ද නැත. තම දරුවන්ගේ ඉරණම කුමක්දැයි විමසමින් මෙම දෙමාපියන් සහ ඥාතීන් නොගිය රජයේ කාර්යාලයක් නැති නමුත් ඔවුනට පිළිගත හැකි පිළිතුරක් ලැබුණු තැනක් නැත. දැනුදු උතුරේ සරසවි සිසු ක්‍රියාකාරීන්ට, මාධ්‍යවේදීන්ට ප්‍රහාර එල්ල වෙයි. පැහැරගෙනයාම් සිදුවෙයි. එහෙත් ඒවා සිදුකළ කෙනෙක් හඳුනා ගැනෙන්නේ නැත. සිදුවීම් ඉතිහාසයට එකතු වෙනවා පමණය. ආණ්ඩුව රටේ තවත් පුරවැසි කොටසක් පිළිබඳව හැසිරෙන්නේ තම නිල වගකීමක් නැති ලෙසටය. එහෙත් පරස්පරයක් වෙමින් උතුරේ ජන ජීවිතය යථාවත් වීමට ඉඩනොදෙන්නේද උතුරේ ජනතාව පිළිබඳ ආණ්ඩුවේ මහත් පරීක්ෂාකාරී හැසිරීමය.

එය උතුරේදී ප්‍රකාශයට පත්වන්නේ, ආරක‍ෂක හමුදා වල ක්‍රියාකාරිත්වය මගිනි. යුද්ධය අවසන් වී ඛෙදුම්වාදී යුදමය පෙරමුණ පරාජයට පත්ව තිබියදීත් යුද්ධයක් පවතින කාලයක මෙන් පීරා පරීක‍්ෂා කිරීමේ යාන්ත්‍රණයක් පවත්වාගෙන යමින් තිබේ. ඒ තුල ජනතාවගේ එදිනෙදා කටයුතු වලට සිවිල් කි්‍රයාකාරිත්වයට අදාල කටයුතු දක්වා වූ පරාසයන් සෘජු ආරක‍ෂක අංශ අෂධීක‍ෂණයේ පවතී. නිදසුනක් ලෙස ඛෙදුම්වාදී බෙදුම්වාදී දේශපාලනයෙන් පැහැදිළි ලෙසම වෙන්වුණු දේශපාලන කටයුතු වල නිරත වූවන්ට පවා යුද හමුදා බුද්ධි අංශවල බලපෑම් එල්ල වීම තේරුම් ගත නොහැකි කරුණකි. ජනතා විමුක්ති පෙරමුණේ ක්‍රියාකාරීන් වන කිලිනොච්චියේ රා‍ජේන්ද්‍රන් සහෝදරයාට සහ නෙල්ලිඅඩිහි තංගේෂ්වරන් සහෝදරයාට හමුදාවෙන් එල්ල වී ඇති බලපෑම් උතුරේ ජනජීවිතය යථාවත් නොවී ඇති බවට සහ සිවිල් හා දේශපාලන අයිතීන් යටපත් කර ඇති බවට සාක‍්ෂි සපයයි. මාස කිහිපයකට පෙර සමාජවාදී තරුණ සංගමය කිලිනොච්චියේදී සංවිධානය කරන ලද උතුරු-දකුණු සුහද ක්‍රිකට් තරඟයකට පවා හමුදාවෙන් බාධා කිරීම් සිදුව තිබුණි.

මේ තුළ හැගෙන්නේ, ආණ්ඩුව සැබවින්ම උතුරේ හා දකුනේ ජනතාව අතර බැඳීමක් ඇතිවීම, එක් අරමුණකට එකතුවීම පිළිබඳ බියගෙන හිතාමතා එය වැලැක්වීමට කටයුතු කරන බවය. පංතිමය අර්ථයෙන් ආණ්ඩුව, ජාතිකත්ව බේදයකින් තොරව ජනතාව අත්වැල් බැඳගැනීටම එරෙහිවීම තේරුම්ගත හැකිය. එහෙත් මෙහිදී හැගෙන්නේ ඊට වඩා වෙනස් ලෙස ඛෙදුම්වාදය පිළිබඳ බිල්ලෙකු නිර්මාණය කර ජනතාවගේ නිදහස් සමාජ දේශපාලන හැසිරීම් පාලනය කිරීමය. එසේ කරමින්ම නැවත වරක් දෙමළ ඛෙදුම්වාදයට සරු පසක් නිර්මාණය කර අනියමින් දායක වීමය. නිදහස් මනසින් දේශපාලනය තේරුම් කරගැනීමට ඉඩ අවුරා උතුරේ තරුණයන් ජාතිවාදී මඩගොහොරුව වෙතට තල්ලූ කරලීමය.  1948 සිට මේ දක්වා වසර 7කට වැඩි කාලයක් විවිධ ආණ්ඩුව විසින් කරන ලද සමාව දිය නොහැකි වැරැද්ද ආණ්ඩුව විසින්ද නැවත කරමින් සිටී.

යුද්ධයෙන් පසු උතුරේ ජනතාවගේ ඉරණම පිළිබඳ සැලකිලිමත් පාරශ්ව ගණනාවක් සිටියදී ආණ්ඩුවේ හැසිරීම රාජ්‍ය තාන්ති්‍රක නොවන අමනෝඤ වර්ගයේ එකකි. එමගින් ආණ්ඩුව ඛෙදුම්වාදී දේශපාලනයට අවස්ථා නිර්මාණය කර දෙනවාට අමතරව රටක් ලෙස ලංකාව ජාත්‍යන්තරය ඉදිරියේ හෑල්ලූ වීමට ඉඩකඩ පාදාලයි. යුද්ධය අවසන් වී වසර 2 1/2 කට පසු මානව හිමිකම් දිනය උදාවන විටත් උතුරේ ජනතාව විවෘත සිර කඳවුරක ජීවත් වන බවට ඇතිකරන අදහස ආණ්ඩුව මහත් බියග්නා දරුස්මාන් වාර්තා කිහිපයකට වඩා ප්‍රබලය. එක්සත් ජාතීන්ගේ මානව හිමිකම් කමිටු රැස්වීම කිට්ටු වන විට හිස ගිනිගත් ලෙස දිව යාමටත් හුදෙක් සතුරු කුමන්ත්‍රණ පිළිබඳ සොටු සූරන්නටත් ආණ්ඩුවට සිදුවන්නේ මෙවැනි හේතු නිසාය. ආණ්ඩුව තේරුම්ගත යුත්තේ එක් දෙයකි. එනම් සතුරා සිටින්නේ දුරින් හෝ නඟින් නොව තමා තුළම බවය.

Facebook
Twitter
LinkedIn

උණුසුම් පුවත්