පැරිස් දේශගුණික සම්මුතිය ක්‍රියාවට නැංවීම පිළිබඳව පොදු එකඟතාවයකට එළඹීමට චීනය හා යුරෝපා සංගමය අතර පොදු ලියැවිල්ලක් සැකසීමේ සූදානමක් පවතින බව වාර්තා වේ.
එළඹෙන සිකුරාදා දින මෙම එකඟතා ගිවිසුම එළිදැක්වීමට නියමිත අතර චීන සහ යුරෝපා සංගම් නිලධාරීන් වසරක් පුරා මෙම එකඟතා ගිවිසුම සැකසීම වෙනුවෙන් ක්‍රියාත්මක වී තිබේ. මේ පිළිබඳව අදහස් දක්වමින් ඔවුන් ප්‍රකාශ කර ඇත්තේ අන් කවරදාටත් වඩා පරිසරය සුරැකීම පිළිබඳව අවධානය යොමු කළ යුතු කාලය එළඹ ඇති බවත් එවැනි එකඟතාවයක් අද දිනයේ අත්‍යාවශ්‍ය වී ඇති බවත්ය. මෙම එකඟතා ගිවිසුම ඉහළ පෙළේ දේශපාලන බැඳීමක් දක්වා වර්ධනය වනු ඇති බවට අදහස් පළ වී තිබේ.
ඉහළ යමින් තිබෙන ගෝලීය උෂ්ණත්වය රටවල ජාතික ආරක්ෂාවට මෙන්ම සමාජ හා දේශපාලනය අස්ථාව කිරීමට බලපෑම් සිදුකරමින් තිබෙන බව අවධාරණය කර තිබේ. මෙම එකඟතාවයට අනුව වසර 2020 දී පටන් වායුගෝලයට මුදාහරිනු ලබන කාබන් වායුව අවම කිරීමේ වැඩපිලිවෙලකට දෙපාර්ශවයම එකඟතාවය පළකර ඇති බව පැවසේ.
ලොව ප්‍රධානතම කාර්මික නිෂ්පාදනයන් සිදුකරනු ලබන රටවල් මෙලෙස කාබන් විමෝචනය අවම කිරීමට සැරසෙද්දී වායු ගෝලයට වැඩිම විෂවායු ප්‍රමාණයක් මුදාහරින ඇමෙරිකාව පැරිස් සම්මුතිය තුළ සිට තවදුරටත් කටයුතු කරනු ඇතැයි යන විශ්වාසය බිඳවැටෙමින් තිබේ. ඊට හේතු වී ඇත්තේ පසුගියදා ඉතාලියේ පැවැති ජී-7 සමුළුවේදී ඇමෙරිකානු ජනාධිපතිවරයා සිදු කළ ප්‍රකාශයත් ඊට පෙර පැරිස් දේශගුණික සම්මුතිය පිළිබඳව ට්‍රම්ප් ජනාධිපතිවරයා සිදුකරනු ලැබූ ප්‍රකාශයනුත් බව විදෙස් මාධ්‍ය වාර්තා කරයි.










