ශ‍්‍රී ලංකා වෛද්‍ය සභාවට අත්බෝම්බ ප‍්‍රහාරයක් එල්ල කිරීමේ බියගුළු ප‍්‍රයත්නය දැඩි පිළිකුලෙන් යුතුව හෙළා දකින බව සඳහන් කරමින් ජනතා විමුක්ති පෙරමුණේ දේශපාලන මණ්ඩලය මාධ්‍ය වෙත නිවේදනයක් නිකුත් කර තිබේ.
විශේෂයෙන්ම සයිටම් විරෝධී සටන වර්ධනය වෙමින් ඉදරියට යද්දී ශ‍්‍රී ලංකා වෛද්‍ය සභාව ඉතාම නිවැරදි ස්ථාවරයක සිට සයිටම් හොර උපාධි කඩය ප‍්‍රතික්ෂේප කර තිබෙන තත්වයක් තුළ මෙම බෝම්බ ප‍්‍රහාරය එල්ල කිරීමේ අරමුණ වටහාගැනීම දුෂ්කර නැති බවද එම මාධ්‍ය නිවේදනයේ සඳහන් වේ.
සයිටම් ආයතනයේ බලධාරීන් විටින් විට මෙවැනි පාතාල වර්ගයේ ක‍්‍රියාමාර්ගවල යෙදුණ බවත් ආණ්ඩුව එහිදී කටයුතු කළේ නිහඬ ප‍්‍රතිපත්තියක සිට බවත් මතක් කර දෙන එම මාධ්‍ය නිවේදනයේ මෙම බෝම්බ ප‍්‍රහාරයේ අරමුණ වෛද්‍ය සභාවේ සාමාජිකයන් බියවැද්දීම විය හැකි බැවින් මෙය සරල ලෙස සලකා කටයුතු කිරීමට ඉඩ දිය යුතු නැතැයි අවධාරණය කරයි.
ශ‍්‍රී ලංකා වෛද්‍ය සභාවට එල්ල කර ඇති මෙම බෝම්බ ප‍්‍රහාරය පිළිබඳ අපක්ෂපාතී පරීක්ෂණයක් පවත්වා එයට වගකිව යුතු අය නීතිය හමුවට පමුණුවන ලෙස ආණ්ඩුවට බලකර සිටින බවත් මෙවැනි බියගුළු ප‍්‍රහාරවලින් සයිටම් විරෝධී සටන අඩපණ කිරීමට හෝ සටනේ අවධානය වෙන අතකට හරවා එය දුර්වල කිරීමට හෝ යමෙක් උත්සාහ කරන්නේ නම් එයට කිසිසේත් ඉඩ නොදෙන බවද ජනතා විමුක්ති පෙරමුණ සිය මාධ්‍ය නිවේදනය මගින් වැඩිදුරටත් අවධාරණය කරයි.











