මෛත්‍රී, දීමූ කැපේ

ශ්‍රී ලංකා නිදහස් පක්ෂ මහා ලේකම් ධූරය සහ අග්‍රාමාත්‍ය ධූරය සම්බන්ධයෙන් ආණ්ඩුව තුළ පවතින බල අරගලය මේ වනවිට තීව්‍ර වී ඇත.

පසුගිය දිනවල ත්‍රෛනිකායික මහානායක හිමිවරුන් හමුවීමට පාර්ලිමේන්තු මන්ත්‍රී නාමල් රාජපක්ෂ මහතා ගිය අතර ඉන්පසු මහානායක හිමිවරුන් කිහිප නමක් අගමැතිවරයාට විරුද්ධව ප්‍රකාශකයන් නිකුත්කර තිබිණ. අගමැතිවරයා බුද්ධ ශාසනයේ දියුණුව වෙනුවෙන් කිසිවක් කර නැති බවට ප්‍රකාශ කෙරිණ. මේ අතර ප්‍රසිද්ධ මහජන රැස්වීම්වල කතාකිරීම අගමැතිවරයාට සීමාකර ඇති බවද ඔහුගේ සෞඛ්‍ය තත්වය පිරිහීම මත එවැනි තීරණයක් ගෙන ඇති බවට රටට හැඟවෙන පරිදි ක්‍රියා කිරීමටද සැලසුම් සැකසී ඇතැයි හෙළිවේ.

එමෙන්ම කලකට පෙර සි‍ට ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ මහාලේකම් ධූරයෙන් මෛත්‍රීපාල සිරිසේන ඇමතිවරයා ඉවත්කිරීමේ සැලසුමක් පවතී. එයද මේ වනවිට උත්සන්න වී ඇති බව ආණ්ඩු පක්ෂ ආරංචිමාර්ග සඳහන් කරයි. ආණ්ඩුව තුළ සිටින රාජපක්ෂ සමීපතමයන්ගේ විනය විරෝධී ක්‍රියාමාර්ගවලට විරුද්ධව විනය පරීක්ෂණ පවත්වා දඬුවම් දෙන බව මෛත්‍රීපාල සිරිසේන මහතා විවිධ අවස්ථාවල ප්‍රකාශකර තිබිණ. එමෙන්ම ආණ්ඩුපක්ෂයේ සිටින මැතිඇමතිවරුන්ගේ ඥාතීන්ට නාමයෝජනා ලබා නොදෙන බවද ප්‍රකාශ කර තිබිණ. එහෙත් මෙම සියලු අවස්ථාවලදී රාජපක්ෂ සමීපතමයන් සහ ඥාතීන් ජයග්‍රහණය කරමින් මෛත්‍රීපාල සිරිසේන මහතාට පරාජය අත්විය. මේ වනවිට ඔහු ඉවත් කිරීමේ සූදානම රාජපක්ෂ හිතවාදීන් තුළින් කරළියට පැමිණ ඇතැයි අනාවරණය වේ.

Facebook
Twitter
LinkedIn