ආණ්ඩුවට තියෙන්නේ බලහත්කාරයේ වාසිය පමණයි. හැකිනම් මුළු රටේම ඡන්දය තියන්න – අනුර

ආණ්ඩුව ඡන්ද තියන්නේ බලහත්කාරයේ වාසියට පමණනක් බවත් පළාත් සභා කිහිපයක මැතිවරණ පවත්වා රාජ්‍ය බලය මුළුමනින්ම එම පළාත් මැතිවරණයට යොදවා, ජනාධිපතිවරයා පෞද්ගලිකවම මැදිහත් වී  ආණ්ඩුවේ මුදල්, වාහන, සම්පත් සියල්ල එම පළාත්වලට යොදවමින් ජනතාවගේ මතය විකෘති කිරීමට ආණ්ඩුව උත්සාහ කරන බවත් පොලීසිය හා මැර කණ්ඩායම් යොදා ගනිමින් ජනමතය වෙනස් කිරීමට උත්සාහ කරන බවත් ජවිපෙ පාර්ලිමේන්තු මන්ත්‍රී, දේශපාලන මණ්ඩල සභික අනුර දිසානායක මහතා පැවසීය.

අද (01) පැලවත්තේ පිහිටි ජනතා විමුක්ති පෙරමුණේ ප්‍රධාන කාර්යාලයේදී පැවති මාධ්‍ය හමුවකදී ඒ මහතා එසේ පවසූ අතර හැකිනම් මුළු රටේම ඡන්දය එකට තියා පෙන්වන්නැයිද ආණ්ඩුවට අභියෝගකළේය. එම අවසථාවට ජවිපෙ මධ්‍යම කමිටු සාමාජික නලින්ද ජයතිස්ස මහතාද සහභාගීවූ අතර දිසානායක මහතා දැක්වූ සම්පූර්ණ අදහස් පහත පළවේ.

“ආණ්ඩුව යළි පළාත් සභා මැතිවරණයක් කැඳවා තිබෙනවා. මේ පිළිබඳව ජ.වි.පෙ. ස්ථාවරය සහ මෙරට ජනතාව අනුගමනය කළ යුතු සහ ජනතාවට පැවරී තිබෙන කාර්යභාරය පිළිබඳව මාධ්‍ය හරහා ජනතාව දැනුවත් කළ යුතුයැයි අප අදහස් කළා.

නැගෙනහිර පළාත් සභාව පවත්වන්න තිබුණේ ලබන මැයි මස 10වන දිනයි. ඒ වගේම උතුරු මැද සහ සබරගමුව එළඹෙන අගෝස්තු 23 දින පැවැත්වීමට නියමිතව තිබුණා. නමුත් මෙම පළාත් සභාවල කාලය අවුරුද්දක පමණ කාලයක් ඉතිරිව තිබියදී ආණ්ඩුව පළාත් සභා මැතිවරණයක් කැඳවා තිබෙනවා. මීට පෙරද මෙම පළාත් සභා මැතිවරණ කැඳවා තිබුණේ නියමිත කාලයට වසර එකහමාරකට පමණ පෙරයි. උතුරුමැද සහ සබරගමු පළාත් සභා 2004 ජූලි මස 10 වැනිදා පැවැත්වූ අතර නියමිත පරිදි එය නැවත පැවැත්විය යුතුව තිබුණේ 2009 ජූලි 10දිනයි. එසේ තිබියදී 2008 අගෝස්තු 23 ඡන්දය පැවැත්වුවා. එදා එම මැතිවරණවල අරමුණ වුණේ පළාත් සභා සමඟ එළන ලද මැතිවරණ සිතියම ජනාධිපතිවරණය සහ මහ මැතිවරණය තෙක් අඛණ්ඩව ගෙනයාමයි. ආණ්ඩුවේ මෙම මැතිවරණ බල ව්‍යාපෘතිය 2007 මැයි 10 සිට 2010 අපේ‍්‍රල් 08 දක්වා මහ මැතිවරණය තෙක් ගෙන ආවා. අදත් ආණ්ඩුවේ අරමුණ වෙලා තියෙන්නේ එවැනි මැතිවරණ සිතියමක් එලන්නයි. මේ අවුරුද්දේ සැප්තැම්බර් මස සිට ආරම්භ කරන මෙම මැතිවරණ සිතියම 2015 අගවන විට මහ මැතිවරණය දක්වා ගෙන ඒමටයි.

එනිසා ආණ්ඩුවේ මෙම මැතිවරණ කි‍්‍රයාවලිය ජනතාවගේ ප‍්‍රජාතන්ත‍්‍රවාදී අයතිය ලබාදීමට හෝ නිදහස් මැතිවරණ පවත්වා ජනමතය විමසා බැලීමට දරන ප‍්‍රයත්නයක් නෙවෙයි. මුළුමනින්ම මෙය ආණ්ඩුවේ බලය ඩැහැ ගැනීමේ තක්කඩි හිතුවක්කාරී වුවමනාවක් පමණයි. මේ මොහොතේ ජනතාවගේ සැබෑ ගැටළු වී තිබුණේ මොනවාද? විශේෂයෙන්ම උතුරුමැද පළාතේ ගොවීන්ගේ කෘෂිකර්මය සඳහා අවශ්‍ය ජලය ලබාගැනීම, තමන් නිෂ්පාදනය කරන නිෂ්පාදන සඳහා සාධාරණ මිලක්, එම පළාත්වල දුවාදරුවන්ට හොඳ අධ්‍යාපනයක්, තමන්ගේ පාසැල්වලට පහසුකම්, රෝහල්වලට පහසුකම්, බරපතල වකුගඩු රෝගී තත්වයන්ට මුහුණ දී සිටින ජනතාවට විසඳුම් තමයි මේ මොහොතේ අවශ්‍යවී තිබුණේ. එමෙන්ම සබරගමු සහ නැගෙනහිර පළාතේ පොදුජනයාගේ වුවමනාව මේවායි. පොදුජනතාවගේ වුවමනාවන් වෙනුවට ආණ්ඩුව දෙන්නේ ඡන්ද. හරි පැහැදිළියි, රාජපක්‍ෂ ආණ්ඩුවේ බල ව්‍යාපෘතිය සඳහා පමණක්මයි මෙම මැතිවරණ කැඳවා තිබෙන්නේ.

හරි පැහැදිළියි මෙම කුමන්ත‍්‍රණකාරී බල ව්‍යාපෘතියේ න්‍යාය පත‍්‍රය. මේ මොහොතේ  ප‍්‍රජාතන්ත‍්‍රවාදය අහිමිකිරීම වෙනුවෙන් විශාල විරෝධයක් ආණ්ඩුව වෙත එල්ල වෙමින් තියෙනවා. ආර්ථිකය කඩාවැටී රට සෝදාපාලූවකට ලක්වී රැකියා අහිමිවීම්, බඩු මිල ඉහළයාම්, අතේ මුදල් සංසරණය අඩුවීම, රටේ මූල්‍ය පද්ධතිය හිරවීමකට ලක්වීමෙන් රටේ ආර්ථිකය කඩා වැටීම නිසා දැඩි ජනතා විරෝධයක් ආණ්ඩුවට එල්ල වෙමින් තියෙනවා. ආණ්ඩුවේ මැති ඇමතිවරු, ජනාධිතිවරයාගේ පවුල, මේ රටේ ජනතාවගේ මුදල් කෝටි ප‍්‍රකෝටි ගණනින් නාස්ති කරමින්, මංකොල්ල කමින් කරන දූෂිත පාලනයට ජනාවගේ විරෝධයක් එල්ල වෙමින් තිබෙනවා. මෙසේ ක‍්‍රමාණුකූලව ආණ්ඩුවට එල්ල වෙමින් තිබෙන ජනතා විරෝධය එකතැනකට කේන්ද්‍රගත වීමට ඉඩ නොදීම සඳහා කුඩා ඡන්දයක් ගෙනවිත් තිබෙනවා. පළාත් සභා කිහිපයක මැතිවරණ පවත්වා රාජ්‍ය බලය මුළුමනින්ම එම පළාත් මැතිවරණයට යොදවා ජනාධිපතිවරයා පෞද්ගලිකවම මැදිහත් වී එම පළාත්වල ඇමතිවරු දන්සැල් විවෘත කොට ආණ්ඩුවේ මුදල්, වාහන, සම්පත් සියල්ල එම පළාත්වලට යොදවමින් ජනතාවගේ මතය විකෘති කිරීමටයි ආණ්ඩුව උත්සාහ කරන්නේ. අනෙක් අතින් පොලීසිය මැර කණ්ඩායම් යොදා ගනිමින් ජනමතය වෙනස් කිරීමට උත්සාහ දරමින් ඉන්නවා.

මේ වනවිට උතුරු මැද පළාතේ ගොවි ජනතාව මුහුණ දී සිටින ගැටළුවලට සැබෑ විසඳුම් සොයනවා වෙනුවට ගොවි සංගම්වලට රුපියල් ලක්‍ෂයක් දෙන්න පටන් අරගෙන තියෙනවා. වතුර මෝටර් බෙදා දීමට සූදානමින් ඉන්නවා. ඒ වගේම ජනතාව මුහුණ දී සිටින පීඩාවන්වලට විවිධ සංතෝසම් දී තෑගිබෝග ලබාදෙමින් ජනමතය වෙනස් කිරීමට පටන් ගෙන තිබෙනවා. මේ රටේ ජනාතවගේ මතය සැබවින්ම මැනිය හැකිනම් අඩුම තරමේ පළාත් සභා සියල්ල එකට පැවැත්විය යුතුව තිබෙනවා. එවිට එක් පළාතක් කේන්ද්‍ර කරගනිමින් ආණ්ඩුවේ මැති ඇමතිවරු රාජ්‍ය බලය යොදාගෙන සිදුකරන මෙම විගඩම්කාරී දේශපාලනය යම් තරමකට හෝ අඩු වෙනවා. ආණ්ඩුවට අපි අභියෝග කරනවා යම් තරමින්වත් සාධාරණ මත විමසුමක් සිදුකිරීමට නම් මුළු රටේම එකවර මැතිවරණ පවත්වන්න කියලා. නමුත් ආණ්ඩුව කරන්නේ පළාත් කිහිපයකට පමණක් තමන්ගේ රාජ්‍ය බලය මුළුමනින්ම යෙදවීමයි. අපේ රටේ එක් යුගයක් තිබුණා ජනතාවගේ සැබෑ මතය පිළිබිඹු වන මැතිවරණ පැවැත්වූ යුගයක්. නමුත් වර්තමානයේ සිදුවන්නේ කුමක්ද? වර්තමාන මැතිවරණයන් ජනතාවගේ සැබෑ මතය විකෘති කරන ව්‍යාපාර බවට පත්වී තිබෙනවා.

ඒ නිසා මේ රටේ ප‍්‍රගතිශීලී බලවේගයන් ආණ්ඩුව ගෙනයන පීඩාකාරී පාලනයට එරෙහිව යම් හඬක් නැගිය යුතුව තිබෙනවා. එනිසා ආණ්ඩුව තම බල ව්‍යාපෘතිය සඳහා කැඳවා තිබෙන මෙම මැතිවරණය ආණ්ඩුවට පාරා වළල්ලක් කිරීමේ දිශාවට මෙම මැතිවරණය හැරවිය යුතුව තිබෙනවා. ජනතා විමුක්ති පෙරමුණ ඒ වෙනුවෙන් මෙම මැතිවරණ කි‍්‍රයාදාමයට ඉතාමත් ශක්තිමත්ව මුහුණ දෙනවා. ඒ සඳහා ශක්තිමත් අපේක්‍ෂක කණ්ඩායම් ශක්තිමත් මැතිවරණ ව්‍යාපාරයක් මෙන්ම හුදු ආණ්ඩු මාරුවක් හෝ පුද්ගලයන් මාරු කිරීමක් සඳහා පමණක් නොව ඊට එහා ගිය පුළුල් සමාජ පරිවර්තනයක් සඳහා වන කතිකාවක් ජනතාව සමඟ ආරම්භ කිරීමට සූදානමින් ඉන්නවා. මේ රටේ ප‍්‍රගතිශීලී ප‍්‍රජාතන්ත‍්‍රවාදය අගයන සියලූ දෙනාගෙන්ම අපි ඉල්ලා සිටිනවා ආණ්ඩුව අතිශය දුෂ්ට චේතනාවෙන්, තක්කඩි වුවමණාවක් වෙනුවෙන් ගෙන එන මේ මැතිවරණය, එම වුවමනාව ඉටුකරගැනීමට නොදී ආණ්ඩුවට ආපසු හරවා යවන ප‍්‍රහාරයක් බවට පත්කිරීමට උපයෝගී කරගන්නා ලෙස.

මේ වන විටත් සබරගමු පළාත් සභාවේ සාමාන්‍ය කම්කරුවන් ලෙස අනියම් පදනමින් පළාත් සෞඛ්‍ය දෙපාර්තමේන්තුව සඳහා පිරිසක් බඳවාගෙන තිබෙනවා. පළාත් සභාව විසරුවා හරින 27 මධ්‍යම රාති‍්‍රයට දින දෙකකට පෙර සබරගමු ආණ්ඩුකාරවරයා විසින් මෙම පත්වීම් ලබාදෙනවා. මෙය තමයි ආණ්ඩුවේ ව්‍යාපෘතිය බවට පත්වී තිබෙන්නේ. නාම යෝජනා කැඳවා නොතිබෙන තත්වයක් තුළත් ආණ්ඩුව තම බලය උපයෝගී කරගනිමින් නිරතවී සිටින්නේ මෙම කි‍්‍රයාදාමයට. එයින්ම පෙනෙනවා ආණ්ඩුව සිදුකරන්න යන්නේ කෙබඳු මැතිවරණයක්ද යන්න.

ජනතාවගෙන් අපි ඉල්ලා සිටින්නේ මෙම දුෂ්ඨ, තක්කඩි වුවමනාව වෙනුවෙන් පෙනී නොසිටින ලෙසයි. නියං සහනාධාරය හෝ රැකියා බලාපොරොත්තුව හෝ නිවාස ණය කොල පිරවීමහෝ වැනි පොරොන්දුවලට නොරැවටී මේ රටේ සැබෑ සමාජ පරිවර්තනයක් වෙනුවෙන් මෙවර මැතිවරණය උපයෝගී කරගත යුතුයි. ඒ සඳහා මෙම අවස්ථාව උපයෝගී කරගන්නා ලෙස ජනතාවගෙන් ඉල්ලා සිටිනවා.

මෙම මැතිවරණය සඳහා අප ජනතා විමුක්ති පෙරමුණ ලෙස ආයතනයන් 03 සඳහාම ඒ ඒ දිස්ති‍්‍රක් නියෝජනය කරමින් කණ්ඩායම් නායකයින් මූලික කරගනිමින් සාමාජිකයින් ඉදිරිපත් කිරීමට බලාපොරොත්තු වෙනවා.” යනුවෙනි

මාධ්‍යවේදීන් නැගූ ප‍්‍රශ්නවලට පිළිතුරු ලබාදෙමින් ඒ මහතා පැවසූවේ

“අපේ රටේ ජාතික ප‍්‍රශ්නයට පළාත් සභා විසඳුමක් වෙලා නැහැ. ආණ්ඩුවේ බලව්‍යාපෘතිය පෙන්වන ආයතන බවට පළාත් සභා පත්වෙලා. එනිසා උතුරේ පළාත් සභා ඡන්දය පැවැත්වීම හරහා උතුරේ ජනතාවගේ ගැටලුවලට විසඳුම් ලැබෙයි කියලා අපි විශ්වාස කරන්නේ නැහැ. ආණ්ඩුව හිතනවානම් ජනතාවගේ මතය පරීක්ෂාවට භාජනය කළ යුතුයි කියලා එහි මූල්ම පියවර විය යුත්තේ උතුරු පළාතේ ඡන්දයයි. මෙතෙක් නොතියා තිබෙන උතුරු ඡන්දය තමයි පැවැත්විය යුතුව තිබෙන්නේ. නමුත් ආණ්ඩුව එය පස්සට දාලා තිබෙන්නේ ආණ්ඩුවේ බල ව්‍යාපෘතියට එය සුදුසු තැනක් නොවන නිසා. ඉතිං ආණ්ඩුව මොකද කරන්නේ නොකරන ඡන්දයක් ගැන විශාල කරුණු ප‍්‍රමාණයක් ඉදිරිපත් කරමින් ඉන්නවා. එවා කිසිසේත් සාධාරණ කරුණු දැක්වීම් නොවේ.

ආණ්ඩුව කල්පනා කරන්නේ ජනතා විරෝධයන් වර්ධනය වෙලා නැහැ කියන තත්වයක ඡන්දය පැවැත්විය යුතුයි කියලා. අපි මේ රටේ වගකිව යුතු දේශපාලන ව්‍යාපාරයක් ලෙස කලපනා කරන්නේ කළ යුත්තේ ජනතා විරෝධය ආණ්ඩුව වෙත එල්ල කරමින් මේ දුෂ්ඨ පාලනය පැරදවිය යුතුයි කියලා. මේ රටේ ජනතාවටත් වගකීමක් තියෙනවා. යම් දේශපාලන පක්ෂයක් විසින් මේ දේවල් කර දේවි යැයි කියා බලා සිටීම නිවැරදි නැහැ. දේශපාලන ව්‍යාපාරයට ශක්තිමත් වීමට ජනතාවගේ ශක්තියත් අවශ්‍යයි. ජනතාව නරඹන්නන් බවට පත්වෙනවා වෙනුවට එම ව්‍යාපාරවල කොටස්කරුවන් බවට පත්විය යුතුයි. එවැනි ඒකාබද්ධ සංකලනයකින් තමයි මෙවැනි දුෂ්ඨ පාලනයක් පැරදවිය හැක්කේ.

කෙහෙළිය කියනවා තමන්ට වාසි වෙලාවක තමයි ආණ්ඩුව ඡන්දය තියන්නේ කියලා. කෙහෙළියට අපි කියනවා තොරතුරු දැනගැනීමේ අයිතිය ජනතාවට ලබාදී, පොලිස් කොමිසම ස්ථාපිත කර, මාධ්‍යවේදීන්ට තර්ජන ගර්ජන නතර කර, ආණ්ඩුවේ සම්පත් දේපොළ පාවිච්චිය නතර කොට ඡන්දය පවත්වන්න කියලා. කෙහෙළියලා කියන වාසි දායක තත්වය හදලා තියෙන්නේ මාධ්‍ය මර්දනය කරලා, වෙබ් අඩවි තහනම් කරලා, දන්සල් ඇරලා, මැතිවරණ කොමිසම් අකුළලා. එය ආණ්ඩුවට තියෙන සාධාරණ වාසියක් නොවේ. එම බලහත්කාරයේ වාසිය පමණයි ආණ්ඩුවට තියෙන්නේ. සැබෑ නිදහස්, ප‍්‍රජාතන්ත‍්‍රවාදී ඡන්දයකදී වාසියක් කෙහෙළියලට නැහැ.” යනුවෙනි.

Facebook
Twitter
LinkedIn