තියුණු තරගයකින් පසු ශ්‍රී ලංකාවට පන්දුවාර විස්සයි විස්ස තරගාවලි ජයක්!

දකුණු අප්‍රිකා කණ්ඩායම සමග පැවැති තරග තුනකින් සමන්විත පන්දුවාර විස්සයි විස්ස තරගාවලියේ අවසන් තරගය කඩුලු පහක ජයග්‍රහණයක් ලබා ගත් ශ්‍රී ලංකා කණ්ඩායම 2-1ක් ලෙස තරගාවලියේ ශූරතාවය දිනා ගැනීමට සමත් විය.

ලකුණු 169ක ජයග්‍රාහී ඉලක්කයක් හඹා යෑමට පිටියට පිවිසි ශ්‍රී ලංකා කණ්ඩායම පන්දුවාර 19.5කදී ලකුණු 170ක් ලබා ගනිමින් ජයග්‍රහණය හිමිකර ගැනීමට සමත් විය. විශිෂ්ඨ පිතිහරඹයක නිරත වූ ආරම්භක පිතිකරු නිරෝෂන් දික්වැල්ල පන්දු 51 කදී හතරේ පහර 10ක් හා එක් හයේ පහරක් සමගින් ලකුණු 68ක් ලබා ගත් අතර වේගවත් පිතිහරඹයක නිරත වූ සීක්කුගේ ප්‍රසන්න පන්දු 16කදී හතරේ පහර 3ක් හා හයේ පහර 3ක් සමගින් නොදැවී ලකුණු 37ක් රැස් කිරීමට සමත් විය. ඔහුට අමතරව උපුල් තරංග ලකුණු 20ක් හා ධනංජයද සිල්වා ලකුණු 19 ක් ද ධනංජය ගුණරත්න නොදැවී ලකුණු 11ක්ද ශ්‍රී ලංකා කණ්ඩායම වෙනුවෙන්  රැස් කිරීමට සමත් විය.

දකුණු අප්‍රිකා කණ්ඩායම පන්දුවාර 20 අවසානයේදී කඩුලු 5කට ලකුණු 169ක් ලබා ගත් අතර දකුණු අප්‍රිකා ඉනිම වෙනුවෙන් A.B de Villiers පන්දු 44කදී හතරේ පහර 2ක් හා හයේ පහර 3ක් සමගින් ලකුනු 63ක්ද R.R Hendricks පන්දු 34කදී ලකුණු 41ක්ද M.Mosehle නොදැවී ලකුණු 32ක් ද රැස් කිරීමට සමත් විය.

දිවා රාත්‍රී තරගයක් ලෙස පැවති අවසන් තරගයේ කාසියේ වාසිය දිනාගත් දකුණු අප්‍රිකානු කණ්ඩායමේ නායකයා පළමුව පන්දුවට පහර දීම තෝරා ගනු ලැබීය. ශ්‍රී ලංකා කණ්ඩායම දකුණු අප්‍රිකා කණ්ඩායම හමුවේ ටෙස්ට් තරගාවලිය 3-0ක් ලෙස පරාජයට පත්වූ අතර අඛණ්ඩව පන්දුවාර විස්සයි විස්ස තරග 7ක්ද පරාජයට පත්ව තිබියදී මෙම තරගාවලි  ජයග්‍රහණය ලබා ගැනීම විශේෂත්වයක් ගනු ලබයි. අවසන් තරගයේදී කණ්ඩායම දිනේෂ් චන්දිමාල් විසින් මෙහෙයවනු ලැබූ අතර නිත්‍ය නායක ඇන්ජලෝ මැතිවුස් ආබාධයකට ලක්ව සිටී.

Facebook
Twitter
LinkedIn

උණුසුම් පුවත්