ආන්දෝලනාත්මක බැඳුම්කර වංචාව සම්බන්ධයෙන් මේ දිනවල දැඩි කතාබහක් පවතින අතර බුකියේ නිරන්තරයෙන් සිය මත පළ කරන්නෙකු වන රවිනාත් විජේසේකර මහතා අප වෙබ් අඩවියෙ පළ කර තිබූ ප්රවෘත්තිද පදනම් කරගනිමින් සිය facebook පිටුවේ සටහනක් යොදා තිබේ. එය පහතින් පල වේ.
“ආන්දෝලාත්මක බැඳුම්කර වංචාවට අදාල වෙන්දේසිය පැවැත්වී තිබෙන්නේ 2015 පෙබරවාරි 27 වෙනි දා ය. එම සිදුවීම පිළිබඳ මාධ්‍යයක් විසින් වාර්තා කර තිබෙන්නේ සිදුවීමෙන් දින 7කට පසුව 2015 මාර්තු 06 වෙනි දා ය. ඒ “මූල්‍ය ජාවාරමක් ගැන දැඩි ආන්දෝලනයක්” හෙඩිම යටතේ ලංකා ටෘත් වෙබ් අධවියයි.
කොටස් වෙළඳපොලේ ගනුදෙනු සම්බන්දයෙන් සැලකිලිමත් වෙන පාර්ශව මෙන්ම භාණ්ඩාගාර බිල්පත් සම්බන්ධයෙන්ද විශේෂයෙන් සැලකිලිමත් වෙන පාර්ශව සිටිති. ඔවුන් ඔවුන්ගේ වෙළඳ පොළ සම්බන්ධයෙන් ඉතා සංවේදි වේ. බැඳුම්කර සම්බන්ධයෙන් ද සුවිශේෂී සිදුවීමක් වූ විට වඩා සංවේදී වෙන්නේ එම වෙළඳපොලට සම්බන්ධ පාර්ශවයි. මුලින්ම සංවේදි වෙන්නේ ප්‍රාථමික ගැනුම්කරුවන් ය. ද්විතීය ගැනුම්කරුවන් සංවේදී වෙන්නේ දෙවනුවය. ඔවුන් හරහා දේශපාලකයින් වෙතටත් සංසරණය වෙන සංවාදය අවසානයේ දී ජනමාධ්‍ය හරහා ජනතාවට සංසරණය වේ.
මෙම පුවත වාර්තා කරන ලංකා ටෘත් වෙබ් පිටුව ආන්දෝලාත්මක යෙදුම භාවිතා කර තිබේ. එයින් අදහස් වෙන්නේ ජනතාව දැනුවත්වීමට පෙර අදාල සිදුවීම පිළිබඳ වඩාත් සංවේදී පිරිස අතරේ සංවාදයක් ඇති වී තිබුණු බවයි.
එහෙත් යම් දේශපාලකයෙකු සිදුවීම පිළිබඳව තම අදහස යම් තැනක පළ කළා නම් එය මාධ්‍ය හරහා ජනතාවට සංසරණය විය යුතු වේ. 2015 මාර්තු 06 වෙනිදාට පෙර දේශපාලනයට සම්බන්ධ කිසිම පාර්ශවයක් විසින් එවැනි අදහස් දැක්වීමක් කළ බවට කිසිම සාක්ෂියක් නැත.
සිදුවීමෙන් දින 11කට පසුව 2015 මාර්තු 10 වෙනිදා ජනතා විමුක්ති පා.ම. මන්ත්‍රී සුනිල් හඳුන්නෙත්ති මහතා සාකච්ඡාවක් කැඳවා “මෙම ගනුදෙනුව සැලසුම් කළ එකක්. ස්වභාවිකව සිදුවුන දෙයක් නෙවෙයි” බව පවසා මහ බැංකු අධිපතිවරයා ඉල්ලා අස්වී විමර්ශණ කටයුතු සඳහා සහාය ලබා දිය යුතු බව පැවසුවේය.
2015 මාර්තු 17 වෙනි දින පාර්ශවවලින් පාර්ලිමේන්තුවේදී ජනතා විමුක්ති පෙරමුණේ නායක අනුර කුමාර දිසානායක මහතා
1. 2015 පෙබරවාරි 27වැනි දින බැඳුම්කර නිකුතුවේ වටිනාකම දස ගුණයකින් ඉහළ යාමට හේතුව කුමක්ද?
2. හදිසි මුදල් අවශ්‍යතාවක් වෙනුවෙන් වෙනත් වෙන්දේසියක් අදාළ කොන්දේසි පූර්වයෙන් ප්‍රකාශ කර නැවත කැඳවීමට පියවර නොගත්තේ ඇයි?
3. මිලියන 1000ක් වැනි මුදලක් කල්පිරීම සඳහා අවුරුදු 30ක කාලයක් ලබාදුන්නේ කුමන හේතුවක් මතද? ඒ වෙනුවෙන් 12.5%ක ඉහළ පොලී අනුපාතයක් ප්‍රකාශයට පත්කරනු ලැබුවේ ඇයි?
4. පෙබරවාරි 26වැනි දින පැවති රැස්වීම හා පසුදින බැඳුම්කර නිකුතුවේ අගය ඉහළ දැමීම අතර සම්බන්ධයක් තිබේද?
5. බැඳුම්කර නිකුතුවේ අගය ඉහළ දැමීම නිසා ඉහළ පොලී අනුපාතයක් යටතේ වූ ලංසු පිළිගැනීමට සිදුවූයේද? එසේනම් එමගින් මහ බැංකුවට අලාභයක් සිදුවී තිබේද? එසේනම් ඒ කොපමණද?
6. පෙබරවාරි 27 දින බැඳුම්කර නිකුතුව සඳහා එක් එක් ආයතනය විසින් ඉදිරිපත් කරන ලද ලංසු ප්‍රමාණයන් සහ එක් එක් ආයතනයට බැඳුම්කර නිකුත් කරන ලද ප්‍රමාණයන් වෙන් වෙන් වශයෙන් සභාවට ඉදිරිපත් කරනු ලබන්නේද?
7. මේ ගනුදෙනුව පිළිබඳව පවත්වනු ලබන පරීක්ෂණයක් සාධාරණ හා අපක්ෂපාතී වනු පිණිස මහ බැංකුවේ සභාපතිවරයා තාවකාලිකව ඉවත් කරනු ලබන්නේද?
යනුවෙන් අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතාගෙන් විමසා සිටියේ ය.
යම් පාර්ලිමේන්තු මන්ත්‍රීවරයෙක් උක්ත කරුණු පිළිබඳව ප්‍රශ්න කිරීමක් පාර්ලිමේන්තුවේදී කළා නම් ජවිපෙ නායකයා නැවත එම කරුණ පිළිබඳව නැවත පාර්ලිමේන්තුවේදී මතු නොකරනු ඇත. එකම කරුණ නැවත නැවත ඇදීම කාලය පාර්ලිමේන්තුවේ කාලය කා දැමීමක් වෙන බැවිනි.
ඉහත කරුණු සඳහන් කළේ ජවිපෙ අනුන් කළ දේවල් අයිති කර ගන්න හදනවා යැයි නැගුණු චෝදනාවට පිළිතුරක් ලෙසයි.
පසු සටහන
තත්වය මෙසේ පෙළ ගැසෙද්දි 2015 මාර්තු 29 දින පැවැත්වූ වෙන්දේසියෙන් රු. 784,898,755 ක ඇස්තුමේන්තු ගත අවාසියක් සිදු වී ඇති බැව් විගණකාධිපති විසින් පාර්ලිමේන්තුවේ පොදු ව්‍යාපාර කාරක සභාව වෙත දැනුම් දී තිබේ.
තවද ඉහත වාර්තාවේම සේවක අර්ථ සාධක අරමුදල (EPF) ප්‍රාථමික ගැනුම්කරුවෙකු බවට පරිවර්තනය කළ යුතු බැව් විගණකාධිපතිවරයා නිර්දේශ කරයි. මෙයින් පැහැදිලි වෙන්නේ ඉහත වෙන්දේසි මගින් මිලදී ගන්නා ලද බැඳුම්කර විකුණා තිබෙන්නේ සේවක අර්ථ සාධක අරමුදලට බවයි. සේවකයින්ගේ අරමුදල දේශපාලකයින් විසින් නැවත වරක් ඔවුන්ගේ මූල්‍ය මගඩියකට භාවිතා කර තිබේ. පාඩු වෙන්නේ EPF එකට ය. බිලියන් ගණනින් පාඩු ලබන අර්ථ සාධකය ඉදිරියේදී එහි සාමාජිකයින් හට ගෙවනු බලන වාර්ෂික පොලිය අඩු කර දමනවා ඇත.
මහින්ද රාජපක්ෂ පාලනය පරාජයට පත් කිරීමට ජනතාව විසින් ඡන්දය ලබා දුන්නේ සැක කටයුතු ගනුදෙනුවක් පිළිබඳ ප්‍රශ්න කරද්දිත් බිය නැතිව වංචා දූෂණ කිරීමට නොවේ.
එහෙත් සිදුවී තිබෙන්නේ හොරු, මහ දවාලේ ජනතා සම්පත් පැහැර ගන්නා මංකොල්ලකරුවන් බවට පරිවර්තනය වීමයි.“









