කාවන්තිස්සට වෙඩි තැබූ දඩයක්කරුද?  ගිනිඅවි සමග පුද්ගලයෙක් අත්අඩංගුවට… වන අලි ඝාතන පිටුපස සංවිධානාත්මක ජාලයක්දැයි පරීක්ෂණ!

කාවන්තිස්සට වෙඩි තැබූ දඩයක්කරුද?  ගිනිඅවි සමග පුද්ගලයෙක් අත්අඩංගුවට… වන අලි ඝාතන පිටුපස සංවිධානාත්මක ජාලයක්දැයි පරීක්ෂණ!

මෙරට සිටි විශාලතම සහ උසම හස්තිරාජයෙකු ලෙස සැලකෙන කාවන්තිස්ස හස්තියාට වෙඩි තබා ඝාතනය කිරීමේ සිද්ධියට සැකපිට දඩයක්කරුවෙකු ගිනිඅවි දෙකක්ද සමඟ අත්අඩංගුවට ගෙන තිබේ.

සහකාර පොලිස් අධිකාරී රොහාන් ඕලුගල ප්‍රමුඛ වලාන දූෂණ මර්දන ප්‍රහාරක ඒකකයේ කණ්ඩායමක් විසින් සිදුකළ විශේෂ මෙහෙයුමකදී මෙම සැකකරු ගල්ගමුව, හුණුගල්ලෑව ප්‍රදේශයේදී අත්අඩංගුවට ගෙන ඇත.

එම කණ්ඩායම විසින් අත්අඩංගුවට ගත් එම සැකකරු වනජීවී නිලධාරීන් වෙත බාර දී තිබේ.

සංවිධානාත්මක කල්ලි සම්බන්ධයක්?

කාවන්තිස්ස හස්තියාගේ මරණය මෙන්ම පසුගිය දිනවල වාර්තා වූ ඩයනා ඇතුළු වන අලින්ට වෙඩි තැබීමේ සිදුවීම් පිටුපස කිසියම් සංවිධානාත්මක ජාලයක් හෝ කණ්ඩායමක් ක්‍රියාත්මක වන්නේද යන්න පිළිබඳව පරිසර අමාත්‍යාංශයේ අවධානය යොමුව තිබේ. මේ පිළිබඳව විධිමත් විමර්ශනයක් පවත්වන ලෙස පරිසර අමාත්‍යාංශය විසින් මේ වනවිට ශ්‍රී ලංකා පොලිසියෙන් සහ අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවෙන් ලිඛිතව ඉල්ලීමක් ද කර ඇත.

අත්අඩංගුවට ගත් සැකකරු මෙලෙස සංවිධානාත්මකව වනසතුන් දඩයම් කල්ලියක සාමාජිකයෙකුද යන්න සහ සසුගිය වන අලි වෙඩි තැබීම් අතර යම් සෘජු සබඳතාවක් පවතීද යන්න පිළිබඳව නීතිමය හා ස්වාධීන විමර්ශන තවදුරටත් ක්‍රියාත්මක වේ.

වන අලි ඝාතන හා හිංසනයන් පිටුපස සිටින සියලුම පාර්ශ්වයන් වහාම නීතිය හමුවට පැමිණවිය යුතු බවට ප්‍රදේශවාසීන් සහ පරිසරවේදීන්ද දැඩි ලෙස බලකර සිටී.

අත්අඩංගුවට ගත් සැකකරුවන්

හුණුගල්ලෑව ප්‍රදේශයේදී අත්අඩංගුවට ගෙන ඇති පළමු සැකකරු රත්නායක මුදියන්සේලාගේ ශාන්ත ධර්මසිරි රත්නායක වන අතර ඔහු හුණුගල්ලෑව, ඇහැටුවැව ප්‍රදේශයේ පදිංචි වයස අවුරුදු 56ක පුද්ගලයෙකි.

එම ප්‍රදේශයෙන්ම අත්අඩංගුවට ගත් දෙවන සැකකරු රත්නායක මුදියන්සේලාගේ ලක්මාල් පද්මසිරි වන අතර ඔහු කෝන්වැව, ඇහැටුවැවො ප්‍රදේශයේ පදිංචි වයස අවුරුදු 34ක් පුද්ගලයෙකි.

මෙම සැකකරුවන් දෙදෙනා ගල්ගමුව මහේස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කිරීමට නියමිතය.

Facebook
Twitter
LinkedIn

උණුසුම් පුවත්