සරණ බේරගන්න විණිසුරුට අල්ලස් දීමට තැත් කිරීම – මිනුවන්ගොඩ අධිකරණයේ රෙජිස්ට්‍රාර්වරයා අත්අඩංගුවට

සරණ බේරගන්න විණිසුරුට අල්ලස් දීමට තැත් කිරීම – මිනුවන්ගොඩ අධිකරණයේ රෙජිස්ට්‍රාර්වරයා අත්අඩංගුවට

අල්ලස් ලබා ගැනීමට අනුබල දීමේ චෝදනාව මත, මිනුවන්ගොඩ මහේස්ත්‍රාත් අධිකරණයේ රෙජිස්ට්‍රාර් අල්ලස් හෝ දූෂණ චෝදනා විමර්ශන කොමිෂන් සභාව විසින් අත්අඩංගුවට ගෙන තිබේ.

මෙම අත්අඩංගුවට ගැනීම සිදුකර ඇත්තේ සරණ ගුණවර්ධනට ලබාදෙන සිර දඬුවම අත්හිටවූ සිර දඬුවමක් බවට පත්කර ගැනීම සඳහා සිදුකළ බව කියන අල්ලස් ලබාදීමේ උත්සාහයකට අදාළව මහාධිකරණ විනිසුරු රශාන්ත ගොඩවෙල අල්ලස් කොමිසමට සිදු කළ පැමිණිල්ලක් අනුව සිදුකෙරෙන විමර්ශනයකට අනුව.

මෙලෙස දඬුවම් ලිහිල් කර ගැනීමට කටයුතු කර ඇත්තේ සරණ ගුනනවර්ධන සංවර්ධන ලොතරැයි මණ්ඩලයේ සභාපති ලෙස කටයුතු කළ සමයේ කිසිම අවශ්‍යතාවයකින් තොරව, තමන්ගේ බිරිඳගේ මාදිවෙල නිවසක් කූඨ ලෙස වෙනත් නමකට මාරු කර සංවර්ධන ලොතරැයි මණ්ඩලටම බදු දීම තුළින් රුපියල් මිලියන දෙකක මුදලක් වංචා කිරීම සම්බන්ධ නඩුවකට අදාළවය.

මෙම විමර්ශනයට අදාළව සරණ ගුණවර්ධනගේ බිරිඳ වන චිනාරි ලක්මන්ති හෙට්ටිආරච්චි නමැත්තියද මීට පෙර අත්අඩංගුවට ගෙන ඇති අතර, තම සැමියාට හිමිවන සිර දඬුවමට බලපෑම් කිරීමේ අරමුණින් කොළඹ මහාධිකරණයේ කාර්යාල කාර්ය සහායකයෙකුට රුපියල් 50,000ක මුදලක් අල්ලස් වශයෙන් ලබාදීමට උත්සාහ කළ බවට ඇයට චෝදනා එල්ල විය.

එහිදී, කොළඹ ප්‍රධාන මහේස්ත්‍රාත් අධිකරණය විසින් ඇය ඔක්තෝබර් 06 වැනිදා දක්වා රක්ෂිත බන්ධනාගාරගත කරනු ලැබීය.

අදාළ මුදල් හුවමාරුව සහ ඊට අදාළ සැලසුම් සම්බන්ධයෙන් ඉහත සඳහන් කාර්යාල කාර්ය සහායකයාගේ ජංගම දුරකථනයෙන් ලබාගත් කෙටි පණිවුඩ මගින් තොරතුරු අනාවරණය වී ඇති බවත් එම විමර්ශන පුළුල් කරමින්, අදාළ අල්ලස් ලබා ගැනීමට අනුබල දීමේ චෝදනාව මත මිනුවන්ගොඩ මහේස්ත්‍රාත් අධිකරණයේ රෙජිස්ට්‍රාර් මෙලෙස අත්අඩංගුවට ගත් බවත් අල්ලස් කොමිසම සඳහන් කරයි.

මෙයට අදාළව පසුගිව 22දා අධිකරණයේ ආරච්චිල කෙනෙකුද අත්අඩංගුවට ගත් අතර එම ආරච්චිල ලබන 06 වනදා තෙක් රක්ෂිත බන්ධනාගාර ගත කර සිටී. එමෙන්ම මහාධිකරණයේ පොත් බැඳුම්කරුවෙකුදමේ සඳහා සම්බන්ධ බවට හඳුනාගෙන තිබේ.

2006 වසරේ සංවර්ධන ලොතරැයි මණ්ඩලයේ සභාපතිවරයාව සිටියදී කුලී පදනම මත වාහන ලබා ගැනීමේදී සිදු වූ බව කියන අක්‍රමිකතා සම්බන්ධයෙන් පැවැති දූෂණ නඩු හතරකට වරදකරු කරමින්, කොළඹ මහාධිකරණය විසින් ඉකුත් ජූනි මාසයේදී සරණ ගුණවර්ධනට වසර 16ක බරපතල වැඩ සහිත සිර දඬුවමක් සහ රුපියල් මිලියන 1.8 ක දඩයක්ද නියම කරනු ලැබීය.

Facebook
Twitter
LinkedIn