ශිරාන් බාසික්ට එරෙහි නඩුවේ වැඩිදුර පූර්ව නඩු විභාග සම්මන්ත්‍රණය නොවැම්බර් 11

ශිරාන් බාසික්ට එරෙහි නඩුවේ වැඩිදුර පූර්ව නඩු විභාග සම්මන්ත්‍රණය නොවැම්බර් 11

කොකේන් මත්ද්‍රව්‍ය ජාවාරම් කිරීමේ චෝදනා එල්ල වී සිටින ප්‍රබල මත්ද්‍රව්‍ය ජාවාරම්කරුවකු බව කියන ශිරාන් බාසික් ඇතුළු විත්තිකරුවන් තුන් දෙනෙකුට එරෙහිව ගොනු කර තිබෙන නඩුව වැඩිදුර පූර්ව නඩු විභාග සම්මන්ත්‍රණය සඳහා නොවැම්බර් මස 11 වැනිදා කැඳවන ලෙස කොළඹ මහාධිකරණය විනිසුරු නයෝමි වික්‍රමසේකර නියෝග කර තිබේ.

ඒ, මෙම නඩුව ඇය ඉදිරියේ අද (02) කැඳවූ අවස්ථාවේදීය.

එහිදී මේ වනවිට පොලිස් මධ්‍යම අපරාධ විමර්ශන කාර්යාංශයේ රඳවාගෙන සිටින විත්තිකාර ශිරාන් බාසික් පොලිස් විශේෂ කාර්ය බළකායේ දැඩි ආරක්ෂක විධිවිධාන මැද අධිකරණයට ඉදිරිපත් කර ඇත.

මෙම නඩුකරය අද කැඳවූ අවස්ථාවේදී රජයේ නීතිඥවරිය විසින් විත්තිකරුවන්ට භාරදිය යුතු ලේඛන අඩංගු ගොනු විත්තියේ නීතිඥවරුන්ට ලබා දී ඇති අතර විත්තිකරුවන් වෙනුවෙන් පෙනී සිටි ජනාධිපති නීතීඥ ඩිලාන් රත්නායක, චමින්ද අතුකෝරල සහ වසන්ත පිටිගල යන නීතිඥවරු අධිකරණයට දැනුම් දී ඇත්තේ, එම ලේඛන අධ්‍යයනය කර, යම් අඩුපාඩුවක් තිබේ නම් ඒවා ඊළඟ දිනයේදී අධිකරණයට දැනුම් දීමට කටයුතු කරන බවය.

මෙම නඩුකරයට අදාළ නඩු භාණ්ඩ වශයෙන් ඉදිරිපත් කර තිබෙන මත්ද්‍රව්‍ය තොගය මේ වනවිට රජයේ රස පරීක්ෂක දෙපාර්තමේන්තුව භාරයේ පවතින බව රජයේ නීතිඥවරිය අධිකරණයට දැනුම් දී ඇත.

විනිසුරු වැඩිදුරටත් සඳහන් කර ඇත්තේ, අදාළ නඩු භාණ්ඩ අධිකරණයට ගෙන්වා ගැනීමට අවශ්‍ය වුවත්, මේ වනවිට මහාධිකරණයේ නඩු භාණ්ඩ කාමරය කඩා වැටී ඇති නිසා, ඒ සම්බන්ධයෙන් මෙම අවස්ථාවේදී නියෝගයක් නිකුත් නොකරන බවය.

ඉන් අනතුරුව, මෙම නඩුකරය පූර්ව නඩු විභාග සම්මන්ත්‍රණය සඳහා නොවැම්බර් මස 11 වැනිදා කැඳවන ලෙස අධිකරණය විසින් නියෝග කර තිබේ.

Facebook
Twitter
LinkedIn

උණුසුම් පුවත්