ස්වීඩන මැතිවරණයේ වම ඉදිරියෙන් !

ස්වීඩන මැතිවරණයේ වම ඉදිරියෙන් !

2026 සැප්තැම්බර් 13 වන ඉරිදා පැවැත්වෙන පාර්ලිමේන්තු මැතිවරණයේදී Magdalena Anderssonගේ වාමාංශික සමාජ ප්‍රජාතන්ත්‍රවාදී පක්ෂයේ ජයග්‍රහණයට අවහිර කිරීම සඳහා පාලක දක්ෂිණාංශික පක්ෂ අන්ත දක්ෂිණාංශිකයින් සමඟ විශාල උත්සාහයක යෙදෙමින් සිටින බව වාර්තා වේ.

මේ වනවිට මත විමසුම් පෙන්වා දෙමින් සිටින්නේ දකුණ හා වම අතර ඇත්තේ ඉතාමත් අඩු ප්‍රතිශතයක් බවයි. මිලියන 10ක ජනතාවක් වෙසෙන ස්වීඩනයේ මිලියන 08ක චන්ද දායකයින් මෙම චන්දය සඳහා සුදුසුකම් ලබා ඇති අතර බොහෝ මත විමසුම් පෙන්වා දෙන්නේ වාමාංශික පෙරමුණ ජයග්‍රහණයෙන් හෝ අන්ත දක්ෂිණාංශික (SD) “ප්‍රජාතන්ත්‍ර වාදී “පක්ෂය ඇමතිකම් සමග පවතින රජයට එක් වීමට නියමිත බවය.

ඡන්ද විමසීම්වලින් තරමක් ඉදිරියෙන් සිටින Magdalena Anderssonගේ නායකත්වයෙන් යුත් වාමාංශික සහ මධ්‍යම පක්ෂ සහිත විපක්ෂයට ඉරිදා පාර්ලිමේන්තු මැතිවරණයෙන් පසු ස්වීඩනයේ නැවත බලයට පැමිණිය හැකි බව බොහෝ දේශපාලන විචාරකයින් මේ අතර පෙන්වා දේ. කෙසේ වෙතත් බලයෙන් ඉවත්ව යන හිටපු අගමැති උල්ෆ් ක්‍රිස්ටර්සන් වාමාංශික රැල්ල ආපසු හැරවීම සඳහා ඉස්ලාම් විරෝධී, සංක්‍රමික විරෝධී අන්ත දක්ෂිණාංශික ජිමී ඇන්ඩර්සන් ගේ SD ප්‍රජාතන්ත්‍රවාදී පක්ෂය සමඟ තවත් නව සන්ධානයක් සඳහා සලකා බලමින් සිටින්නේ අනාගත රජයකදී ඔවුන්ට ඇමතිකම් පවා ලබා දෙන බවට පොරොන්දු වෙමිනි.

විශේෂයෙන් මෙය අනපේක්ෂිත මැතිවරණයක් වීමේ ඉඩකඩක් පවතින බවද පැවසේ. මෙම ඉරිදා පෙ.ව අටට ආරම්භ වන ස්වීඩනයේ පාර්ලිමේන්තු මැතිවරණයේදී, වාමාංශිකයින් නැවත බලයට පත්වීම හෝ අන්ත දක්ෂිණාංශිකයින් රජයට ඇතුළු වීම දැකගත හැකි යයි එරට මාධ්‍ය පෙන්වා දේ.

ඩොනල්ඩ් ට්‍රම්ප්ගේ ප්‍රසිද්ධ වාක්‍ය ඛණ්ඩය ප්‍රතිරාවය කරමින්, වත්මන් අගමැති උල්ෆ් ක්‍රිස්ටර්සන් සිකුරාදා ඔහු පැවසූ පරිදි, “ස්වීඩනය නැවතත් ශ්‍රේෂ්ඨ කිරීම” වෙනුවෙන් ඔහුගේ දක්ෂිණාංශික සන්ධානය සමඟ බලයේ රැඳී සිටීමට බලාපොරොත්තු වේ. කොන්සර්වේටිව් රජයේ ප්‍රධානියා රට තුළ සිදු වන “අපරාධ රැල්ලට එරෙහි සටන” ඔහුගේ ජනවරමේ හදවතේ තබා ඇත.

ඒ අනුව ඔහුගේ මැතිවරණ ප්‍රවාහය ඍජුවම ආරක්ෂාව, සංක්‍රමිකයන් පිටුවහල් කිරීම, යන කාරණා පෙරට ගෙන ඇත.

පසුගිය මැතිවරණයෙන් පසුව මාස ගණනාවක් තිස්සේ සිදු කරන ලද සාකච්චා වලින් පසුව 2022 දී පාර්ලිමේන්තුවේ SD පක්ෂයේ අන්ත දක්ෂිණාංශිකයින් සමඟ සන්ධානගත වී රජයක් පිහිටුවන ලදී.

වාමාංශික සමාජ ප්‍රජාතන්ත්‍රවාදී පෙරමුණේ, Magdalena Andersson සුභසාධන රාජ්‍යය ප්‍රතිෂ්ඨාපනය කිරීම, සෞඛ්‍යය, අධ්‍යාපනය සහ ජනතාවගේ මිලදී ගැනීමේ ශක්තිය ඉහළ නැංවීම සඳහා වූ පොරොන්දු සහිතව මැතිවරණ ප්‍රචාරක කටයුතු සිදු කළාය.

සැප්තැම්බර් 11 වන සිකුරාදා ප්‍රකාශයට පත් කරන ලද නව මත විමසුම්වලින් පෙන්නුම් කරන්නේ කඳවුරු දෙකම කරට කර සිටින බවයි. නවතම මත විමසුම්වලින්, වාමාංශික සහ මධ්‍යම පක්ෂ හතරට 50.8%ක පමණ ඡන්ද ප්‍රතිශතයක් ලැබෙන අතර, දක්ෂිණාංශික පක්ෂ හතරට 47.8% ක් පමණ වේ.

මේ අතර එරට දිනපතා පුවත්පතක් වන Dagens Nyheter විසින් සිදු කරන ලද IPSOS මත විමසුම ඉදිරිපත් කරමින් ඔවුන් පවසන්නේ දකුණ සඳහා 49% ක්, වමට 49.3% ක් ලෙස මැතිවරණය අවසන් වනුයේ වාමාංශික සභාගය ජයග්‍රහණය කිරීමෙන් බවයි.

Facebook
Twitter
LinkedIn