දේශීයව නිෂ්පාදනය කරනු ලබන පෝෂ්‍යදායී කෘෂි නිෂ්පාදන සඳහා අගය එකතු කිරීම තුළින් ගෘහස්ථ පෝෂණ තත්ත්වය වැඩිදියුණු කිරීම, ආහාර නාස්තිය අවම කිරීම සහ ගොවි පවුල්වල ආදායම් මාර්ග පුළුල් කිරීම අරමුණු කරගනිමින් විශේෂ දැනුවත් කිරීමේ වැඩසටහන් මාලාවක් මේ දිනවල සක්‍රියව ක්‍රියාත්මක වේ.
මේ සම්බන්ධයෙන් කෘෂිකර්ම, පශු සම්පත්, ඉඩම් සහ වාරිමාර්ග අමාත්‍යාංශය නිකුත් කළ නිවේදනය මෙසේද සඳහන් වේ.
“කෘෂිකර්ම, පශු සම්පත්, ඉඩම් හා වාරිමාර්ග අමාත්‍යාංශය මඟින් ක්‍රියාත්මක කරන කුඩා පරිමාණ කෘෂි ව්‍යාපාර සඳහා වන අහිතකර බලපෑම් අවම කිරීමේ ව්‍යාපෘතිය (SARP) මගින් සංවිධානය කරනු ලබන මෙම වැඩසටහන, ව්‍යාපෘති ප්‍රතිලාභීන් මෙන්ම අදාළ ග්‍රාම නිලධාරී වසම්වල ජනතාව ඉලක්ක කරගනිමින් පවත්වනු ලබයි.
කෘෂිකාර්මික නිෂ්පාදනය ඉහළ දැමීම පමණක් පවුලක පෝෂණ තත්වය යහපත් කිරීමට ප්‍රමාණවත් නොවන අතර, දේශීයව ලබාගත හැකි විවිධ පෝෂ්‍යදායී ආහාර නිසි ලෙස භාවිත කිරීමත්, ඒවා වසර පුරා ලබාගැනීමට සැලැස්වීමත් අතිශය වැදගත් වේ. ඒ අනුව, කෘෂි නිෂ්පාදන සැකසීම හා සංරක්ෂණය කිරීම මඟින් ආහාර කල් තබාගැනීමේ හැකියාව වැඩිදියුණු කිරීමත්, අස්වනු නෙලන කාලයේ සිදුවන අධික පසු අස්වනු හානිය හා ආහාර නාස්තිය අවම කිරීමත් මෙම වැඩපිළිවෙළෙහි ප්‍රධාන අවධානයට ලක්ව ඇත.
කෘෂිකාර්මික සංවර්ධනය සඳහා වූ ජාත්‍යන්තර අරමුදලේ (IFAD) ණය ආධාර යටතේ, කෘෂිකර්ම, පශු සම්පත්, ඉඩම් හා වාරිමාර්ග අමාත්‍යාංශය මඟින් ක්‍රියාත්මක කරන SARP ව්‍යාපෘතිය හරහා දේශීය කෘෂි සම්පත් ආශ්‍රිතව වෙළෙඳපොළ වටිනාකමක් සහිත අගය එකතු කළ නිෂ්පාදන රැසක් හඳුන්වා දෙනු ලබයි:
පලතුරු ආශ්‍රිතව – වියළි පලතුරු, පලතුරු යුෂ, ජෑම් සහ සෝස් වර්ග.
එළවළු සහ පලා වර්ග – වියළි නිෂ්පාදන, අච්චාරු සහ සෝස් වර්ග.
ධාන්‍ය හා රනිල බෝග – පෝෂ්‍යදායී අඩු කැලරි කෙටි ආහාර, පිටි මිශ්‍රණ, කැඳ මිශ්‍රණ සහ පහසුවෙන් සකස් කළ හැකි (Instant) ආහාර.
තෙල් සහිත ඇට සහ බීජ (රටකජු, තල) – බටර්, ටොෆී, සෝස්, අඩු කැලරි රසකැවිලි.
බිම්මල් – අච්චාරු, පේස්ට්, සෝස් සහ වෙනත් නිෂ්පාදන.
කිරි නිෂ්පාදන – යෝගට් සහ මුදවපු කිරි.
කුළුබඩු – සෝස් වර්ග, කුළුබඩු මිශ්‍රණ, පේස්ට් වර්ග සහ ශරීරයට හිතකර සීසනින් කියුබ් (Seasoning cubes).
මෙම වැඩපිළිවෙළ යටතේ කාන්තාවන්, ගොවීන් සහ ප්‍රජා කණ්ඩායම් වෙත පෝෂණයට සංවේදී ආහාර සැකසීම, සංරක්ෂණය, සුපිරිසිදුබව සහ ආහාර සුරක්ෂිතතාව පිළිබඳ ප්‍රායෝගික දැනුම සහ කුසලතා ලබාදීමට පියවර ගෙන ඇත. මීට අමතරව, නිසි ඇසුරුම්කරණය (Packaging), ලේබල් කිරීම සහ ගබඩා කිරීම පිළිබඳ දැනුවත් කිරීම මඟින් නිෂ්පාදනවල වෙළෙඳපොළ ආකර්ෂණය, ගුණාත්මකභාවය සහ කල් තබාගැනීමේ හැකියාව වැඩිදියුණු කිරීමට ද අපේක්ෂිතය.
දේශීය සම්පත් උපයෝගී කරගනිමින් පෝෂ්‍යදායී ආහාර පරිභෝජනය ප්‍රවර්ධනය කිරීම හරහා ගෘහස්ථ ආහාර විවිධත්වය වැඩිදියුණු වන අතර, පසු අස්වනු හානි අවම කරමින් වසර පුරා පෝෂණය තහවුරු කිරීමට මඟපෑදේ. එමෙන්ම, මෙම වැඩසටහන මඟින් ග්‍රාමීය කාන්තාවන් සහ ගොවි කණ්ඩායම් ඉලක්ක කරගනිමින් කුඩා පරිමාණ ව්‍යාපාරික අවස්ථා (Agribusiness opportunities) නිර්මාණය කරමින් ඔවුන්ගේ ආර්ථික ශක්තිය ඉහළ නැංවීම ද සිදු කෙරේ.
මෙම වැඩසටහන සහ තාක්ෂණික උපදෙස් ලබාගැනීමට කැමැත්තක් දක්වන ගොවි මහත්ම මහත්මීන්ට සහ උනන්දුවක් දක්වන පාර්ශ්වයන්ට කුඩා පරිමාණ කෘෂි ව්‍යාපාර සඳහා වන අහිතකර බලපෑම් අවම කිරීමේ ව්‍යාපෘතිය (SARP) අමතා වැඩිදුර තොරතුරු ලබාගත හැක.”
දුරකථන අංකය: 011 2770986 – තොරතුරු ලබා දීම – මොන්ටි රණතුංග මහතා – ව්‍යාපෘති අධ්‍යක්ෂ














