2027 අයවැයෙන් සංවර්ධන කටයුතු සඳහා රුපියල් ට්‍රිලියන 02ක් වෙන් කරනවා – ජනාධිපති

2027 අයවැයෙන් සංවර්ධන කටයුතු සඳහා රුපියල් ට්‍රිලියන 02ක් වෙන් කරනවා – ජනාධිපති

“1957 වසරෙන් පසුව ලංකාවේ වාර්තා වූ අඩුම අයවැය හිඟය 2025 වසරේදී වාතා කිරීමට අපිට හැකි වුණා. කළු ආර්ථිකය සුද්ධ කළ විට තමයි මේ ප්‍රතිලාභ ජනතාවට ගලා යන්නේ. අපි මෙලෙස එකතු කරගත් ධනය ගම් මට්ටමට, ජනතාව වෙත පහළට මුදා හරිනවා. මේ කළුතර දිස්ත්‍රික්කයේ සංවර්ධනය වෙනුවෙන් අපි විශාල මුදලක් එවලා තිබෙනවා. ලබන වසරේ අයවැයෙන් අපි ප්‍රාග්ධන වියදම් ලෙස රුපියල් ට්‍රිලියන 02ක් වෙන් කරනවා. ලංකා ඉතිහාසයේ කිසිම ආණ්ඩුවක් ප්‍රාග්ධන සංර්වධන කටයුතු සඳහා මෙවැනි දැවැන්ත මුදලක් වෙන් කර නැහැ. ඒ වගේම දිස්ත්‍රික් මට්ටමින් මතුවන හදිසි ප්‍රශ්න විසඳීම සඳහා දිස්ත්‍රික් සම්බන්ධීකරණ කමිටුවේ අනුමැතිය ඇතිව දිසාපතිවරුන්ට වියදම් කළ හැකි පරිදි සෑම දිස්ත්‍රික්කයකටම රුපියල් කෝටි 200ක අයවැය සංචිතයක් ඍජුවම ලබා දෙනවා.” යැයි ජාතික ජන බලවේගයේ නායක ජනාධිපති අනුර දිසානායක අවධාරණය කරයි.

ඔහු මේ බව අවධාරණය කළේ “ආණ්ඩුව වසර දෙකයි – රටට සුබයි” මැයෙන් පසුගිය 06 වනදා බුලත්සිංහලදී පැවති ජන රැලිය අමතමිණි.

එහිදී වැඩිදුරටත් අදහස් දැක්වූ ජාතික ජන බලවේගයේ නායක ජනාධිපති අනුර දිසානායක,

“පහුගිය 2024 සැප්තැම්බර් මාසේ 21 වෙනිදා මේ රටේ ජනතාව ඉතාමත් නිර්භීත තීන්දුවක් ගත්තා. දීර්ඝ කාලයක් අපේ රට මාරුවෙන් මාරුවට පාලනය කරපු ඒ පාලන කඳවුරු මුළුමනින්ම පරාජයට පත් කරලා ජාතික ජන බලවේගයේ නායකත්වයට රට භාර දෙන තීන්දුව ජනතාව ගත්තා. ඒක ඉතාමත් වැදගත් තීන්දුවක්. හැබැයි එතනින් විතරක් නතර වුණේ නැහැ. ඉන්පසුව පැවැති මහා මැතිවරණයේදී, පාර්ලිමේන්තුවට තෝරා පත් වුණු වැඩිම මන්ත්‍රී ධුර සංඛ්‍යාව සහ වැඩිම ඡන්ද සංඛ්‍යාව සහිත ප්‍රබල ආණ්ඩුවක් මේ රටේ ජනතාව අපිට හදලා දුන්නා.

අපි මේ ආණ්ඩුව හැදුවේ කොහොමද? අපිට ඉස්සර වගේ මුදල් විසි කරලා ආණ්ඩු හදන මුදල් බලය තිබුණේ නැහැ. අපිට මාධ්‍ය උපයෝගි කරගෙන බොරු ප්‍රචාර යවන මාධ්‍ය බලයක් තිබුණේ නැහැ. ඒ වගේම අපිට රාජ්‍ය බලය උපයෝගී කරගෙන මැතිවරණ මෙහෙය වීමේ බලයක් තිබුණේ නැහැ. ලංකා ඉතිහාසයේ පළමු වතාවට මුදල් බලය, මාධ්‍ය බලය හෝ දේශපාලන බලය රහිතව, මේ රටේ සාමාන්‍ය ජනතාව ඉදිරියට ඇවිත් තමන්ගේ මහජන බලය නියෝජනය කරමින් මේ ජනතාවාදී ආණ්ඩුව හදලා තියෙනවා. මේ ආණ්ඩුව පත් කළෙත් ජනතාව, මේ ආණ්ඩුව ඉස්සරහට ගෙනයන්නෙත් ජනතාව, මේ ආණ්ඩුව ආරක්ෂා කරන්නෙත් ජනතාවයි.

ඇයි ජනතාව මෙහෙම තීන්දුවක් ගත්තේ? දීර්ඝ කාලයක් අපේ රට පාලනය කරපු පාලක කණ්ඩායම් විසින් රටකට විය හැකි සියලුම ආකාරයේ විනාශයන් සිදු කරලා තිබුණා. කිසිදු ශුද්ධ වූ දෙයක් ඉතුරු නොවන තරමටම සමස්ත පද්ධතියම විනාශ කරලයි තිබුණේ. අවසානයේ ජනතාව පාරට ආවා, කෑගහන්න පටන් ගත්තා, පාලකයන්ට රට දාලා පැනලා යන්න සිද්ධ වුණා. ලංකාවේ එහෙම ඉතිහාසයක් තිබුණේ නැහැ, ජනතාව පාරට බැහැලා පාලකයන් පළවා හැරියා. ඒ නිසා මේ රටේ ජනතාව අපේක්ෂා කළා ජාතික ජන බලවේගය වෙත බලය ලබා දීලා මේ සමස්ත විනාශය වෙනස් කරලා, රට නිවැරදි හා යහපත් දිශාවකට යොමු කළ යුතුයි කියලා. ඔවුන් ආවේ පෞද්ගලික වාසි බලාගෙන නෙවෙයි, හැමදෙනාම අපේක්ෂා කළේ අපේ දුවා දරුවන්ට මීට වඩා හොඳ රටක්, මීට වඩා යහපත් අනාගතයක් ජාතික ජන බලවේගයේ ආණ්ඩුව තුළින් නිර්මාණය කර දීමයි.

මේ රට මුළුමනින්ම පැවතියේ `කළු රාජ්‍යයක්’ විදිහටයි. හැමතැනම තිබුණේ කළු පැල්ලම්. දේශපාලනය කළු දේශපාලනයක්, ආර්ථිකය කළු ආර්ථිකයක්, නීතිය සහ විධායක ආධිපත්‍යය අයාලේ ගිය කළු නීතියක් බවට පත් වෙලා තිබුණා. සිංහල, දෙමළ, මුස්ලිම් ජනතාව අතර ගැටුම් ඇති කරවන ජාතිවාදී කළු සටන් පාඨ හැමතැනම පැතිරිලා තිබුණා. ලෝකය ඉදිරියේ අපේ රට ලේබල් වෙලා තිබුණේ බංකොලොත්, දූෂණයෙන් ගහන වුණු කළු රටක් විදිහටයි. දරුවෙකුට ආරක්ෂාවක් නැති, අනාගතය පිළිබඳ විශ්වාසයක් නැති, නීතිය පිළිබඳ විශ්වාසයක් නැති විශාල කළු රාජ්‍යයක් අපේ රටේ ගොඩනැඟිලා තිබුණා.

ජනතාව මේ රට අපට භාර දුන්නේ මේ කළු රාජ්‍යය මුළුමනින්ම පිරිසිදු කරලා අනාගත පරම්පරාවට හොඳ රටක් හදලා දෙන්නයි. අපි ඔබට සහතිකයක් දෙනවා, ජාතික ජන බලවේගය මේ කළු රාජ්‍යය මුලින්ම උපුටා දමනවා.

මේ ස්ථාපිත කළු රාජ්‍යය හෙල්ලෙන්න පටන් ගන්නකොට, ඒ කළු රාජ්‍යයෙන් රැකවරණය ලබපු, ආරක්ෂාව ලබපු, වරප්‍රසාද ලබපු කට්ටිය දැන් හොඳටම කලබල වෙලා තියෙනවා. ඔවුන් කලබල වෙලා කියනවා දැන් මේ ආණ්ඩුව එළවන්න ඕනේ කියලා. මේ පැරණි කළු රාජ්‍යයෙන් රැකවරණය ලබපු, වරප්‍රසාද භුක්ති විඳපු කණ්ඩායම්.

මම ඔබට එක සහතිකයක් දෙන්නම්. ඔය කවුරු කලබල වුණත් ජාතික ජන බලවේගයේ අපේ ආණ්ඩුව කිසිදු කලබලයකට පත් වෙන්නේ නැහැ. අපිට විධායක ජනාධිපති ධුරයේ විශාල බලය තියෙනවා, පාර්ලිමේන්තුවේ තුනෙන් දෙකක බලය තියෙනවා, ප්‍රාදේශීය සභා හා නගර සභාවල විශාල බලයක් තියෙනවා. හැබැයි අපි අපේ ප්‍රධානම බලය විදිහට සලකන්නේ විධායක බලය හෝ පාර්ලිමේන්තුවේ තුනෙන් දෙක නෙවෙයි, අපි විශ්වාසය තබන්නේ ජනතාව මත පමණයි. මීට පෙර පාලකයින්ටත් විධායක බලය තිබුණා, තුනෙන් දෙක තිබුණා, අයියා ජනාධිපති වෙලා, අනිත් අයියා අගමැති වෙලා, අනිත් අයියා මුදල් ඇමති වෙලා, අනිත් අයියා කථානායක වෙලා සමස්ත පවුලම බලයේ හිටියා. හැබැයි අවසානයේ ඔවුන්ට සිද්ධ වුණේ රට දාලා පැනලා යන්නයි. ඒ නිසා අපේ බලයේ රහස තිබෙන්නේ ජනතාව ළඟයි. අපි ජනතාව දැනුවත් කරන්න ආවේ ඒ මහජන බලය තවදුරටත් ශක්තිමත් කරන්නයි.

අපි මේ කළු රාජ්‍යයේ ආර්ථිකය ඇතුළේ තිබුණු මහා පරිමාණ දූෂණ නතර කරන්න පටන් ගත්තා. ලංකාවේ ඉතාමත් අසීරුවෙන් උපයන ඩොලර් හොරෙන් පිටරට පන්නන කළු ආර්ථිකයක් තිබුණා. අපි මේ වන විට බැංකු නිලධාරීන් කිහිප දෙනෙක් සහ අපරාධ වලට සම්බන්ධ කිහිප දෙනෙක් අත්අඩංගුවට ගෙන තිබෙනවා. ඔවුන් හොරෙන් පන්නලා තියෙන මුදල ආසන්න වශයෙන් ඩොලර් බිලියනයක්. ඩොලර් බිලියනයක් කියන්නේ අපේ රටේ සමස්ත තේ අපනයනයෙන් ලැබෙන මුදලට ආසන්න මුදලක්. අපේ අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවත්, රේගු දෙපාර්තමේන්තුවත් මැදිහත් වෙලා ඩොලර් කළු ආර්ථිකයෙන් එළියට පන්නන එක සම්පූර්ණයෙන්ම නතර කරලා තියෙනවා.

මීට පෙර රජයේ බදු මුදල්, ඉඩම් බදු දීම් වලින් ලැබෙන මුදල් ආදී භාණ්ඩාගාරයට ලැබිය යුතු ධනය ලැබුණේ නැහැ. ඒවා භාණ්ඩාගාරයට එන්න කලින් වෙන වෙන පාරවල් වලින් ඔවුන්ගේ ගෙවල්වලට ගියා. භාණ්ඩාගාරයට ආවට පස්සෙත් තව කොටසක් ගෙවල්වලට ගියා. ඒ නිසා භාණ්ඩාගාරය හිස් වුණා. අපි භාණ්ඩාගාරයට එන්න තියෙන හැම සතයක්ම වෙනත් පාරවල්වල යන එක නතර කරලා, ඒ හොර පාරවල් සියල්ල වහලා භාණ්ඩාගාරය ශක්තිමත් කළා. එහි ප්‍රතිඵලයක් විදිහට, වසර 30කට පසුව ජාතික නිෂ්පාදිතයෙන් (GDP) 16.7%ක වැඩිම රාජ්‍ය ආදායම 2025 වසරේදී ලබා ගැනීමට අපිට පුළුවන් වුණා.

ඒ වගේම භාණ්ඩාගාරයට එන ධනය අපි ඉතාමත් පරිස්සම් සහගතව පරිහරණය කරනවා. එදා හිතුණ හිතුණ විදිහට කිසිදු ශක්‍යතා අධ්‍යයනයක් නැතුව, කොන්ත්‍රාත්කරුවන්ට කොන්ත්‍රාත් දෙමින්, හිතුණොත් වරායක්, හිතුණොත් ගුවන් තොටු පොළක් හදමින් ජනතා ධනය නාස්ති කළා. අපි ඒවා නතර කරලා මුදල් පරිස්සමෙන් වැය කළ නිසා අයවැය හිඟය විශාල ලෙස අඩු කරගන්න පුළුවන් වුණා. 1957 වසරෙන් පසුව ලංකාවේ වාර්තා වූ අඩුම අයවැය හිඟය 2025 වසරේදී වාතා කිරීමට අපිට හැකි වුණා. කළු ආර්ථිකය සුද්ධ කළ විට තමයි මේ ප්‍රතිලාභ ජනතාවට ගලා යන්නේ.

අපි මෙලෙස එකතු කරගත් ධනය ගම් මට්ටමට, ජනතාව වෙත පහළට මුදා හරිනවා. මේ කළුතර දිස්ත්‍රික්කයේ සංවර්ධනය වෙනුවෙන් අපි විශාල මුදලක් එවලා තිබෙනවා. ලබන වසරේ අයවැයෙන් අපි ප්‍රාග්ධන වියදම් ලෙස රුපියල් ට්‍රිලියන 02ක් වෙන් කරනවා. ලංකා ඉතිහාසයේ කිසිම ආණ්ඩුවක් ප්‍රාග්ධන සංර්වධන කටයුතු සඳහා මෙවැනි දැවැන්ත මුදලක් වෙන් කර නැහැ. ඒ වගේම දිස්ත්‍රික් මට්ටමින් මතුවන හදිසි ප්‍රශ්න විසඳීම සඳහා දිස්ත්‍රික් සම්බන්ධීකරණ කමිටුවේ අනුමැතිය ඇතිව දිසාපතිවරුන්ට වියදම් කළ හැකි පරිදි සෑම දිස්ත්‍රික්කයකටම රුපියල් කෝටි 200ක අයවැය සංචිතයක් ඍජුවම ලබා දෙනවා.

අපි බලයට එනකොට විශ්ව විද්‍යාල සිසුන්ගේ මහපොළ ශිෂ්‍යත්වය තිබුණේ රුපියල් 5000යි, අද එය රුපියල් 10,000 දක්වා දෙගුණයකින් ඉහළ නංවා තිබෙනවා. එදා රුපියල් 15,000ක්ව පැවති ගොවි ජනතාවගේ පොහොර සහනාධාරය අද අපි රුපියල් 30,000 දක්වා ඉහළ නංවා තිබෙනවා. අපි බලයට එනකොට ආබාධිත අයගේ දීමනාව රුපියල් 5,000යි, අද එය රුපියල් 10,000යි. වැඩිහිටි දීමනාව ද අපි ඉහළ නැංවූවා. මීට පෙර රැකවරණ මධ්‍යස්ථානවල සිටින අසරණ දරුවන්ට කිසිදු දීමනාවක් ලැබුණේ නැහැ. අද අපි ඒ දරුවන්ගේ ගිණුම්වලට සෑම මාසයකම රුපියල් 5,000 බැගින් ලබා දෙනවා. එම දරුවන් වයස අවුරුදු 18 සම්පූර්ණ වී රැකවරණ නිවාසයෙන් එළියට එන විට නිවසක් සාදා ගැනීමට රුපියල් ලක්ෂ 20ක් ලබා දෙනවා. පාසල් දරුවන් ලක්ෂ 17කට අධ්‍යාපන උපකරණ මිලදී ගැනීම සඳහා රුපියල් 6,000 බැගින් මුදල් ලබා දුන්නා. මේවා ලංකා ඉතිහාසයේ කවදාවත් කරපු දේවල් නෙවෙයි.

පසුගිය කාලයේ අපි දැවැන්ත අර්බුද කිහිපයකට මුහුණ දුන්නා. ලංකා ඉතිහාසයේ වැඩිම ආර්ථික විනාශයක් සිදු කළ ව්‍යසනය තමයි ‘දිට්වා’ සුළි කුණාටු ව්‍යසනය. සුනාමි ව්‍යසනයටත් වඩා වැඩි ආර්ථික විනාශයක් මේ දිට්වා ව්‍යසනයෙන් සිදු වුණා. අපි එම ව්‍යසනයට පත් ප්‍රදේශවල යටිතල පහසුකම් ප්‍රතිසංස්කරණයට සහ ජනතාවගේ ජීවිත නඟා සිටුවීමට රුපියල් කෝටි 50,000 ක් වෙන් කළා.

ගෙවල් හදා ගන්න ලක්ෂ 50 බැගින් දෙනවා. බටු ගවයෙක් නැති වුණා නම් රුපියල් 50,000ක් දුන්නා. ඌරෙකු හෝ එළුවෙකු අහිමි වූ අයට රුපියල් 30,000 බැගින්, බොයිලර් කුකුළෙකු වෙනුවෙන් රුපියල් 200ක් සහ බිත්තර දමන කිකිළියක වෙනුවෙන් රුපියල් 400 බැගින් වන්දි ගෙවනු ලැබුවා. මීට පෙර කුඹුරු හෙක්ටයාරයකට ගෙව්වේ රුපියල් 40,000යි. අපි රුපියල් එක්ලක්ෂ පනස්දාහක් ගෙව්වා. අපේ භාණ්ඩාගාරය ශක්තිමත්ව තිබූ නිසා මෙම ව්‍යසනයට සාර්ථකව මුහුණ දීමට අපට හැකි වුණා.

ඊළඟට මැදපෙරදිග යුද්ධය ආරම්භ වුණා. තෙල් නැති වෙනවා, විදුලිය කපනවා කියලා මිනිස්සු බය කරලා පෝලිම් හැදුවා. නමුත් අපි තෙල් පෝලිම් ඇති වෙන්න දුන්නේ නැහැ, විදුලිය කැපුවේ නැහැ. මැදපෙරදිග යුද්ධය නිසා ලෝක වෙළඳ පොළේ වැඩි වූ තෙල් මිල සහ විදුලි බිල ජනතාවට දරාගත නොහැකි නිසා තෙල් සහ විදුලිය සහනාධාර ලබා දීමට රුපියල් කෝටි 10,000ක් අපි වෙන් කළා. තෙල් ලීටරයකින් රුපියල් 100ක් ආණ්ඩුව දරමින් කෝටි 6000ක සහනාධාර සඳහා ලබා දුන්නා. ඒ වගේම විදුලි ඒකක 180ට වඩා අඩුවෙන් පරිභෝජනය කරන 95%ක් වූ සාමාන්‍ය පාරිභෝගිකයින්ගේ විදුලි බිල වැඩිවීම ආණ්ඩුව විසින් දරාගනිමින් විදුලිබල මණ්ඩලයට රුපියල් කෝටි 1500ක් ගෙවනු ලැබුවා.

අපේ රටේ තිබුණු ඉතාමත් පිළිකුල් සහගත කළු දේශපාලනය අපි වෙනස් කළා. දේශපාලකයාට මිනිස්සු බය වෙලා හිටපු, දේශපාලකයා මහජන මුදල් නාස්ති කරපු සංස්කෘතිය අපි අවසන් කළා. අපි පනතක් ගෙනැවිත් මන්ත්‍රීවරුන්ට අවුරුදු 5න් ලැබෙන විශ්‍රාම වැටුප අහෝසි කළා. හිටපු ජනාධිපතිවරුන්ට ලබා දුන් නිවාස, වාහන, ආරක්ෂාව සහ ලේකම් කාර්ය මණ්ඩල වරප්‍රසාද සියල්ල අහෝසි කළා. අද දේශපාලඥයෙකුට බිය විය යුතු නැහැ. දේශපාලඥයාගේ ඔලුවට උඩින් කපුටෙකුටවත් පියාඹන්න බැහැ කියන දේශපාලන සංස්කෘතිය අපි වෙනස් කර තිබෙනවා. ජනතාවට ආණ්ඩුව විවේචනය කිරීමට, උද්ඝෝෂණය කිරීමට ඇති ප්‍රජාතන්ත්‍රවාදී අයිතිය අපි උපරිමයෙන් තහවුරු කර තිබෙනවා.

පසුගිය වසර දෙකක කාලය තුළ ලංකා ඉතිහාසයේ පළමු වතාවට මහජන උද්ඝෝෂණයකට එරෙහිව එකදු කඳුළු ගෑස් ප්‍රහාරයක් එල්ල නොකළ, බැටන් පොල්ලක් පාවිච්චි නොකළ, වතුර ප්‍රහාර එල්ල නොකළ සාමකාමී වසර දෙකක් බවට පත් කිරීමට අපට හැකි වුණා. පොලිසියෙන් මට වාර්තා කර තිබුණා පොලිසියේ තිබෙන කඳුළු ගෑස් පවා දැන් කල් ඉකුත් වී තිබෙනවා කියලා. මේක තමයි සැබෑ ප්‍රජාතන්ත්‍රවාදය. අපි කළු දේශපාලනය ඉවත් කර මහජනතාවට සැබවින්ම වග කියන දේශපාලන ක්‍රමයක් ගොඩනඟා තිබෙනවා.

නීතිය මුළුමනින්ම කඩා වැටී තිබූ හොරා පොලිස් සෙල්ලම අපි අවසන් කළා. එදා එක ආණ්ඩුවක් එනකොට අනිත් අය හොරු කියනවා, ඔවුන් විපක්ෂයට ගිහින් පොලිස් වෙනවා. මේ හොරා පොලිස් සෙල්ලම නිසා ඔවුන් හොරකම් කරන්න, දූෂණයේ යෙදෙන්න බය වුණේ නැහැ. හැබැයි ඔවුන් හිතුවේ නැහැ වෙනත් පිරිසිදු කණ්ඩායමක් ඇවිත් ඇත්තටම නීතිය ක්‍රියාත්මක කරයි කියලා. අද ඒ සෙල්ලම අවසන් වී සැබෑ ලෙසම නීතිය ක්‍රියාත්මක වෙනවා. අපිට අවුරුදු 15-20ක පරණ නඩු විශාල ප්‍රමාණයක් ගොඩගැසී තිබෙනවා. කාලාවරෝධ නීතියට හසු වීමට පෙර ඒවා කඩිනමින් විසඳීමට අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව ශක්තිමත් කරමින් යනවා. පොලිස් නිලධාරීන්ට පහසුකම් සපයමින් ලබන ජනවාරි මාසයේ සිට විශේෂ දීමනාවක් ලබා දීමටද අපි කටයුතු කරනවා.

රජයේ රස පරීක්ෂක දෙපාර්තමේන්තුව මීට පෙර මසකට ලබා දුන්නේ වාර්තා 3000ක් පමණයි. අපි පහසුකම් සලසා දී දීමනා ලබා දුන් පසු පසුගිය මාසයේදී වාර්තා 9,084ක් ලබා දී නඩු ප්‍රමාදය අවම කිරීමට කටයුතු කර තිබෙනවා. කොළඹ පමණක් අලුතෙන් මහාධිකරණ 7ක් ස්ථාපිත කළා. කවදා හෝ දඬුවම් ලැබී වැඩක් නැහැ, සිද්ධිය මතක කාලයේදීම දඬුවම් ලැබිය යුතුයි. ඒ වෙනුවෙන් අවශ්‍ය ව්‍යවස්ථා සංශෝධන අපි බය නැතුව ගේනවා. ජනතාව වෙනුවෙන් කිරා මැන බලන කිසිදු තීන්දුවක් අපි ආපසු හරවන්නේ නැහැ. 22 වන ව්‍යවස්ථා සංශෝධනයට අදාළ තීන්දුව ලැබුණු වහාම එය පාර්ලිමේන්තුවට ඉදිරිපත් කර සම්මත කර දූෂිතයන්ට දඬුවම් දීමට අපි කටයුතු කරනවා.

මීට පෙර ලෝකය ඉදිරියේ අපේ රට තිබුණේ කළු රටක් ලෙසයි. ජාත්‍යන්තර සංවිධාන තුළ අපේ රට පිළිබඳ සාකච්ඡා කළේ දූෂණ දර්ශකයේ ඉහළට යන, සාමකාමීත්වයෙන් පහළට එන, ආර්ථිකය කඩා වැටුණු රටක් ලෙසයි. වෙනත් රටවල පාර්ලිමේන්තුවල ලංකාව උදාහරණයකට ගත්තේ නරක දේවලටයි. එක රටක අගමැතිනියක් කිව්වා ලංකාවට වෙච්ච දේ තමන්ගේ රටට වෙන්න දෙන්නේ නැහැ කියලා. තව රටක කිව්වා ණය අරන් විනාශ වෙච්ච ලංකාව දෙස බලන්න කියලා. අද ඒ තත්ත්වය සම්පූර්ණයෙන්ම වෙනස් වෙලා. ජාත්‍යන්තරව ලැබෙන සෑම ආර්ථික හා සමාජ දත්තයකින්ම පිම්මකින් ශ්‍රී ලංකාව ඉදිරියට එමින් තිබෙනවා. මෑතකදී ඇති වූ ආර්ථික අර්බුදයෙන් වේගයෙන්ම ගොඩගිය රටවල් අතර ශ්‍රී ලංකාව ප්‍රමුඛස්ථානයේ ඉන්නවා. ජාත්‍යන්තර ගැටලු වලදී සහ විදේශ ප්‍රතිපත්තියේදී රටේ ස්වාධිපත්‍යය සහ ගෞරවය ආරක්ෂා වන ආකාරයෙන් අපි කෙළින් තීරණ ගෙන තිබෙනවා.

එදා කළු දේශපාලනයේ ප්‍රධානම මෙවලම වුණේ ජාති වාදයයි. එදා බලයේ සිටි ආණ්ඩු දෙපැත්තටම සල්ලි දීලා ජාතිවාදී සංවිධාන හදලා, සිංහල – මුස්ලිම් ගැටුම් ඇති කරලා මිනිස්සු ඇන කොටා ගන්නා තත්ත්වයට ඇද දමා තිබුණා. ලෝකය ඉදිරියේ අපේ රට හෑල්ලුවට ලක් වුණා. ජාතිවාදී ගැටුමක් මත කිසිදු පොලිස් පැමිණිල්ලක් වාර්තා නොවුණු වසර දෙක තමයි ජාතික ජන බලවේගයේ වසර දෙක. අපි ඒ ජාතිවාදී කළු දේශපාලනය මුළුමනින්ම පරාජය කර ජාතික සමගිය තහවුරු කර තිබෙනවා.

මේ කළු රාජ්‍යයේ භයානකම තැන තමයි කුඩු මත්ද්‍රව්‍ය සහ පාතාලය. එය කොපමණ ර්වධනය වී තිබුණාද කියනවා නම් ඇතැම් ප්‍රාදේශීය සභාවල සභාපති ධුර පවා පාතාලයෙන් තීන්දු කළා. මන්ත්‍රීවරුන් බය කරලා ඔවුන් සභාපති පුටුවේ වාඩි කරවූවා. ඔවුන් උපයා ගන්නා මහා කළු ධනයෙන් පොලීසිය, රේගුව, පාස්පෝට් කාර්යාලය සහ මෝටර් රථ ප්‍රවාහන දෙපාර්තමේන්තුවේ දුර්වල නිලධාරීන් මිලදී ගත්තා. ඒ කළු සල්ලි දේශපාලකයන්ගේ මැතිවරණ ව්‍යාපාර වලට පොම්ප කළා. එහි ප්‍රතිඵලයක් ලෙස රාජ්‍ය දේහයේ විශාල පංගුවක් පාලනය කිරීමට පාතාලයට හැකි වුණා.

අපි පසුගිය වසර දෙකක කාලය තුළ හෙරොයින් කිලෝ 3,426ක්, කොකේන් කිලෝග්‍රෑම් 308ක්, අයිස් කිලෝග්‍රෑම් 1,820ක් සහ මත් කරල් මිලියන 16ක් අත්අඩංගුවට ගෙන තිබෙනවා. මේ පුංචි රටේ මිලියන 22 ක ජනගහනයක් ඉන්න කොට මත් කරල් මිලියන 16ක් අත්අඩංගුවට ගැනීමෙන්ම රට තිබුණු ව්‍යසනකාරී තත්ත්වය පැහැදිලියි.

අපි රටින් පලා ගොස් සිටි ප්‍රධාන පෙළේ පාතාල අපරාධකරුවන් 74 දෙනෙකු ලංකාවට ගෙන්වා ගත්තා. තව අය ඉදිරියේදී ගේනවා. ඒ වගේම මත්ද්‍රව්‍ය ජාවාරම්කරුවන් සතු රුපියල් කෝටි 600ක බස්, වතු, ඉඩම් සහ ගොඩනැගිලි රාජ්‍යයට පවරා ගෙන තිබෙනවා. අපේ රටේ අනාගත පරම්පරාව වෙනුවෙන් මේ මත්ද්‍රව්‍ය රකුසා සහ පාතාලය අපි මේ රටින් සම්පූර්ණයෙන්ම තුරන් කරනවා. මත්ද්‍රව්‍ය සහ ඒ හා බැඳුණු පාතාලය සමඟ කෙළින්ම හැප්පෙන්නේ ජාතික ජන බලවේගයේ ආණ්ඩුව පමණයි. මේ සඳහා පොලිසිය, ත්‍රිවිධ හමුදාවේ සහාය ඇතිව විශේෂ ඒකක පිහිටුවා දිනපතා වැටලීම් සහ සාකච්ඡා පවත්වමින් විර්මශන කඩිනම් කර තිබෙනවා.

මේ කළු රාජ්‍යය තබාගෙන අපිට රට හදන්න බැහැ. රට හැදීමේ පළමු පියවර තමයි මේ කළු රාජ්‍යය විනාශ කර දැමීම. අපේ රටේ ජනතාව අපිට ඡන්දය දුන්නේ ඒ වගකීම ඉටු කරන්නයි. අපි ඒ වගකීම ඉටු කරන ගමන් රටේ අනාගත සංවර්ධනය සඳහා දැවැන්ත සැලසුම් රාශියක් ක්‍රියාත්මක කරමින් යනවා.

ලබන වසරේදී අපි ප්‍රධාන අධිවේගී මාර්ග 3ක වැඩ ආරම්භ කරනවා. ඒ තමයි ගලගෙදර සිට රඹුක්කන දක්වා මාර්ගය, ඉංගිරිය සිට පහතුඩුව දක්වා මාර්ගය සහ කුරුණෑගල සිට ගලේවෙල දක්වා මාර්ගය. ලංකා ඉතිහාසයේ පළමු වතාවට මෙම අධිවේගී මාර්ග තුනම ඉදිකරන්නේ සතයකවත් විදේශීය ණයක් නොගෙන අපේ භාණ්ඩාගාරයේ සල්ලි වලින් පමණයි.

අපේ දුම්රිය පද්ධතිය විද්‍යුත්කරණය කිරීමේ ව්‍යාපෘතිය අපි ආරම්භ කරනවා. එහි මුළු වියදම රුපියල් කෝටි 6,000ක් ලෙස ඇස්තමේන්තු කර තිබෙනවා. මෙහි පළමු පියවර ලෙස පානදුර සිට මරදානටත්, මීගමුවේ සිට මරදානටත්, රාගම සිට මරදානටත් දුම්රිය මාර්‌ග විද්‍යුත්කරණය කිරීමේ ටෙන්ඩර් කටයුතු මේ නොවැම්බර් මාසයේදී පිරිනැමීමට කටයුතු සූදානම් කර තිබෙනවා. ලබන වසරේ අයවැයෙන් මේ සඳහා අවශ්‍ය රුපියල් කෝටි 10,000ක සම්පූණ මුදල ලබා දෙනවා.

මල්වතු ඔය දැවැන්ත ජලාශ ව්‍යාපෘතිය රුපියල් කෝටි 4,600ක (බිලියන 47ක) වියදමින් ඉදිකිරීම් ආරම්භ කරනවා. මේ සඳහා ලබන වසරේ අයවැයෙන් අවශ්‍ය ඕනෑම ප්‍රතිපාදනයක් ලබා දීමට අපි තීරණය කර තිබෙනවා.

රට පුරා 4G සංඥා ආවරණය සම්පූර්ණ කිරීම සඳහා ඉදිරි වසර 3 ඇතුළත 4G කුළුණු 1,000ක් ඉදි කිරීමට සැලසුම් කර තිබෙනවා. ලබන වසරේදී ඉන් කුළුණු 250ක වැඩ අවසන් කරනවා.

ඩිජිටල්කරණය වෙනුවෙන් ලබන වසරේ අයවැයෙන් රුපියල් කෝටි 3,000ක් (බිලියන 30ක්) වෙන් කරනවා. මෙහි ප්‍රතිඵලයක් ලෙස රජයෙන් සිදුවන සේවාවන් සියයට 80ක් පමණ ගෙදර සිටම ජංගම දුරකථනය ඔස්සේ සිදු කිරීමට පුරවැසියාට අවස්ථාව ලැබෙනවා. උප්පැන්න, මරණ සහතික, ඉඩම් ඔප්පු, ආදායම් බලපත්‍ර ඇතුළු සියලු ගනුදෙනු ඩිජිටල් ක්‍රමයට ගෙදර ඉඳන්ම කරන්න පුළුවන් වෙනවා.

සාම්ප්‍රදායික විශ්ව විද්‍යාල පද්ධතිය වෙනුවට අලුතින් වෘත්තීය විශ්ව විද්‍යාල 50ක් රට පුරා පිහිටුවීමට කටයුතු සූදානම් කර තිබෙනවා. කළුතර දිස්ත්‍රික්කයේ පමණක් වෘත්තීය විශ්වවිද්‍යාල 2 ක් පිහිටුවනවා. එවිට අපේ දරුවන්ට උසස් පෙළින් පසුව සාම්ප්‍රදායික විශ්ව විද්‍යාලවලට හෝ වෘත්තීය විශ්වවිද්‍යාලවලට ගොස් තමන්ගේ අනාගතය ශක්තිමත් කර ගැනීමට අවස්ථාව හිමි වෙනවා.

සූර්ය බල ශක්තියෙන් කොතරම් විදුලිය නිපදවූවත් අපේ රටේ වැඩිම විදුලි ඉල්ලුම පවතින්නේ සවස 6 සිට රාත්‍රී 10 දක්වා වූ පීක් කාලසීමාවේදීයි. ඒ වෙලාවට හිරු එළිය නොමැති නිසා අපිට ඩීසල් පුච්චන්න සිද්ධ වෙනවා. මේ සඳහා විසඳුමක් ලෙස දවල් කාලයේ සූර්ය බලයෙන් නිපදවන විදුලිය ගබඩා කර සවස 6 සිට රාත්‍රී 10 දක්වා මුදා හැරීම සඳහා මෙගාවොට් 160ක දැවැන්ත බැටරි ගබඩා පද්ධතියක් ස්ථාපනය කර තිබෙනවා. ඩීසල් භාවිතය තවදුරටත් අවම කිරීම සඳහා තවත් මෙගාවොට් 200ක බැටරි පද්ධතියක් ස්ථාපනය කිරීමට කටයුතු සූදානම් කර තිබෙනවා. ඒ වගේම තෙල් සංස්ථාවේ පැවති අහිතකර ගිවිසුම් නැවත සමාලෝචනය කර, පාරිභෝගිකයාට අවම මිලට තෙල් ලබා දීමේ තරඟකාරී වෙළඳ පොළක් නිර්මාණය කිරීමට කටයුතු කරමින් යනවා.

අපි ග්‍රාමීය පාරවල් සංර්වධනය කිරීම සඳහා රුපියල් බිලියන 25ක් වෙන් කළා. නමුත් මැදපෙරදිග යුද ගැටුම් නිසා අපේ රටට ගැළපෙන තාර ආනයනය කිරීමට යම් බාධාවක් ඇති වුණා. අපි තෙල් සංස්ථාවට විශේෂ කැබිනට් පත්‍රිකාවක් මඟින් අවසර ලබා දුන්නා ලෝකයේ කොහෙන් හරි කීයට හරි කමක් නැහැ අවශ්‍ය තාර ගෙන්වා පාරවල් ටික කඩිනමින් සාදා නිම කිරීමට. ඒ වගේම එල්නිනෝ දේශගුණික තත්ත්වය නිසා සැප්තැම්බර් අග වන තෙක් පවතින නියඟයෙන් පසුව ඔක්තෝබර් සිට ජනවාරි දක්වා ඇද හැලෙන මහ වැස්සෙන් ලැබෙන ජලය උපරිමයෙන් ගබඩා කර ගැනීම සඳහා, වියළී පවතින කුඩා වැව් ප්‍රතිසංස්කරණය කිරීමට අවශ්‍ය ප්‍රතිපාදන ලබා දී තිබෙනවා. එමඟින් ඉදිරි නියඟ කාලවලදී ගොවි ජනතාවට බාධාවකින් තොරව වගා කටයුතු කිරීමට අවස්ථාව ලැබෙනවා.

ජාතික ජන බලවේගයේ අපේ ආණ්ඩුව ඉබාගාතේ යන ආණ්ඩුවක් නෙවෙයි. හැම ව්‍යාපෘතියක්ම ක්‍රියාත්මක කිරීමට පෙර ඉතාමත් හොඳින් ශක්‍යතා අධ්‍යයනයක් කරලා, එයින් ජනතාවට ප්‍රතිඵල ලැබෙනවා නම් පමණක් අපි ප්‍රතිපාදන වෙන් කරනවා. ඒ සඳහා මේ අයවැයෙන් මිලියන 100, 200 වෙන් කර තිබෙනවා. අපි මෙතෙක් ආපු සාම්ප්‍රදායික ගමන් මඟ තීරණාත්මක ලෙස වෙනස් කර තිබෙනවා. ජනතාව අපෙන් බලාපොරොත්තු වුණේ ඒ අලුත් වෙනසයි.

සමහරු කියනවා අපි ජනාධිපතිවරණය කල් දැමීමට ජනමත විචාරණයකට යනවා කියලා. මේවා දේශපාලන විඥානයක් නොමැති බයවුණු අය මිනිස්සු බය කරන්න කියන කතා. අපි කිසිසේත්ම මැතිවරණ කල් දමන්නේ නැහැ, නියමිත පරිදි ජනාධිපතිවරණය සහ මහා මැතිවරණය පවත්වනවා. පළාත් සභා මැතිවරණය පවත්වන්න දැනට නීතිමය බාධා තිබෙනවා. පාර්ලිමේන්තුවේ සියලු පක්ෂ එකඟ වන ඡන්ද ක්‍රමය තීන්දු කළ වහාම පළාත් සභා මැතිවරණයත් අපි පවත්වනවා. අපි කිසිසේත්ම ජනතාවට වංගු ගසා පාලන බලය තියාගන්න උත්සාහ කරන්නේ නැහැ. අපි හැමවෙලේම විශ්වාසය තබන්නේ ජනතාව කෙරෙහි පමණයි.

ඒ නිසා අපි නැවත එකතු වෙමු. ගම් මට්ටමින් ජාතික ජන බලවේගයේ ප්‍රබලතම දේශපාලන ව්‍යාපාරය තවත් ශක්තිමත් කරමින් රට ගොඩනැඟීමේ මේ ඓතිහාසික ගමනට දායක වන ලෙස ඔබ සැමගෙන් ඉල්ලමින් මම නතර වෙනවා.

බොහොම ස්තූතියි ! හැමදෙනාටම ජයවේවා!”

Facebook
Twitter
LinkedIn