ජාතික මිලාද් – උන් නබි උත්සවය වෙනුවෙන් විපක්ෂ නායකගේ සුබ පැතුම් පණිවිඩය

ජාතික මිලාද් – උන් නබි උත්සවය වෙනුවෙන් විපක්ෂ නායකගේ සුබ පැතුම් පණිවිඩය

ලොව පුරා වෙසෙන මුස්ලිම් භක්තිකයන් ශුද්ධ වූ මුහම්මද් නබි නායකතුමාණන්ගේ උපත සමරන මෙම උතුම් මිලාද් උන් නබි දිනයේදී, සමස්ත ශ්‍රී ලාංකික මුස්ලිම් ජනතාවට මාගේ හදපිරි සුබපැතුම් එක් කරමි.

මුහම්මද් නබි නායකතුමාණන්ගේ ජීවිතය සහ ඉගැන්වීම් දෙස බලන විට ප්‍රධාන ලෙසම කැපී පෙනෙන්නේ උන් වහන්සේ සමාජීය සාමය, සාධාරණත්වය සහ විවිධත්වය කෙරෙහි දැක්වූ ගෞරවයයි. විවිධ ආගම්, ජාතීන් සහ සංස්කෘතීන්ගෙන් සමන්විත වූ මදීනාවේ බහු-වාර්ගික සමාජයක් තුළ සාමකාමීව ජීවත් වන ආකාරය උන් වහන්සේ තමන්ගේ ක්‍රියාවෙන්ම ලොවට පෙන්වා දුන්හ.

විශේෂයෙන්ම ‘මදීනා සම්මුතිය’ හරහා විවිධ ගෝත්‍ර සහ ආගමික කණ්ඩායම් අතර එකමුතුකම සහ ආරක්ෂාව තහවුරු කිරීමට උන් වහන්සේ කටයුතු කළහ. සාමය යනු හුදෙක් අර්බුද නොමැතිකම පමණක් නොව, එකිනෙකාට ගෞරව කිරීම සහ සාධාරණත්වය ඉටු කිරීම බව උන් වහන්සේ ඉගැන්වූහ.

අපගේ මාතෘභූමිය වන ශ්‍රී ලංකාවද බහු-වාර්ගික, බහු-ආගමික සහ බහු-සංස්කෘතික රටකි. එවැනි සමාජයක අන්‍යෝන්‍ය අවබෝධය, සහජීවනය සහ සහෝදරත්වය පවත්වාගෙන යෑම තිරසර සංවර්ධනයකට සහ සාමයට අත්‍යවශ්‍ය වේ. නබිනායකතුමාණන් පෙන්වා දුන් එම උතුම් සාමයේ සහ සහජීවනයේ මඟ ගනිමින්, ජාති හෝ ආගම් භේදයකින් තොරව එකිනෙකාට ගෞරව කරන, සාධාරණ ශ්‍රී ලංකාවක් ගොඩනැඟීමට අපි සැම එක්ව කටයුතු කරමු.

මෙම මිලාදුන් නබි දිනය අප රට තුළ අන්‍යෝන්‍ය ගෞරවය සහ අලුත් සාමකාමී හෙට දවසක් උදා කිරීමට හේතු වේවායි ප්‍රාර්ථනා කරමි.

Facebook
Twitter
LinkedIn

උණුසුම් පුවත්