ඩුබායිහිදී අත්අඩංගුවට ගත් තවත් සංවිධානාත්මක අපරාධකරුවෙන් අනිද්දා දිවයිනට…

ඩුබායිහිදී අත්අඩංගුවට ගත් තවත් සංවිධානාත්මක අපරාධකරුවෙන් අනිද්දා දිවයිනට…

විදේශගතව සැඟව සිටින සංවිධානාත්මක අපරාධ කරුවෙකු වන `බස් ලලිත්’ හෙවත් ලලිත් කන්නංගර අනිද්දා (24) දිවයිනට රැගෙන ඒමට නියමිත බව පොලිසිය පවසයි.

මහා පරිමාණ හෙරොයින් සහ මත්ද්‍රව්‍ය ජාවාරමේ යෙදෙන `බස් ලලිත්’ නැමැත්තා වෙඩිතැබීම්, කප්පම් ගැනීම ඇතුළු අවිස්සාවේල්ල, හංවැල්ල ප්‍රදේශයේ සංවිධානාත්මක අපරාධ රැසකට සම්බන්ධ ඔහු ඩුබායි පොලිසිය විසින් අත්අඩංගුවට ගෙන තිබුණේ පසුගිය වසරේ ඔක්තෝබර් මාසයේදීය.

ඒ අනුව, ඔහු මෙරටට රැගෙන ඒම සඳහා මධ්‍යම අපරාධ විමර්ශන කාර්යාංශයේ නිලධාරීන් කණ්ඩායමක් ඊයේ (21) අලුයම ඩුබායි බලා පිටත්ව ගොස් තිබේ.

මොහු, දැනට මියගොස් ඇති අපරාධකරුවන් දෙදෙනෙකු වන සමයන් සහ ඌරු ජුවාගේ සමීපතමයෙකු බවද පැවසේ.

රතු වරෙන්තු නිකුත්වී ඇති “බස් ලලිත්”  මීට පෙරද ඩුබායිවලදී අත්අඩංගුවට ගෙන පසුව නිදහස්වී සිටි අතර ඔහුගේ බිරිඳ සහ දරුවන් දෙදෙනාද ඩුබායි රටට ගෙන්වාගෙන තිබිණි.

රවිඳු සංඛ ද සිල්වා හෙවත් “බූරුමූණා” නැමැත්තා ලවා 2022 වසරේ හංවැල්ලේදී මුස්ලිම් ව්‍යාපාරිකයෙකුත්, 2023 වසරේ සැප්තැම්බර් මස 30වනදා හංවැල්ල නෙළුවත්තුඩුව ප්‍රදේශයේදී ව්‍යාපාරිකයෙකුත් ඝාතනය කිරීම, 2023 වසරේදී `මන්න රොෂාන්’ සහ ඔහුගේ මිතුරෙකු ඝාතනය කිරීම,  2024 වසරේදී හංවැල්ල ප්‍රදේශයේදී වජිර නිශාන්ත නැමැත්තා සහ මීට පෙර ඝාතනය කළ `මන්න රොෂාන්’ගේ සොහොයුරෙකු ඝාතනය කිරීම, 2025 වසරේ අගෝස්තු 12 වැනිදා හෝමාගම ප්‍රාදේශීය සභාවේ හිටපු මන්ත්‍රී ශාන්ත මුදුන්කොටුව හෙවත් `බනා මන්ත්‍රී’ නැමැත්තා වෙඩි තබා ඝාතනය කිරීම, 2025 වසරේ ජූලි 06 වැනිදා `කොටහැර පොඩ්ඩා’ නැමැත්තා සහ දෙමටගොඩ රුවන් නැමැත්තා කොළඹ රාත්‍රී සමාජ ශාලාවකදී ඝාතනය කිරීමට උත්සාහ කිරීම  “බස් ලලිත්” හෙවත් ලලිත් කන්නංගරට එල්ලවී ඇති චෝදනා කිහිපයක් වන්නේය.

ඊට අමතරව කප්පම් ගැනීමේ සිදුවීම් 15කට අදාළවද ඔහුට චෝදනා එල්ලවී තිබේ.

“බස් ලලිත්” නමැති අපරාධකරුගේ තර්ජන හමුවේ හංවැල්ල, මීගොඩ සහ කොස්ගම ප්‍රදේශයේ ව්‍යාපාරිකයන් රැසක්ද පසුගිය කාලයේ සිය නිවෙස් අතහැර ගොස් තිබිණි.

මෙරට සිදුවූ සංවිධානාත්මක අපරාධ සහ මත්ද්‍රව්‍ය ජාවාරම් සම්බන්ධයෙන් විමර්ශනවලට අවශ්‍යව සිටින මෙම සැකකරු දිවයිනට රැගෙන ඒමෙන් අනතුරුව ඔහු සම්බන්ධයෙන් ඉදිරි නීතිමය කටයුතු සිදු කිරීමට නියමිතය.

Facebook
Twitter
LinkedIn

උණුසුම් පුවත්