චරිත් සහ රඛිත ගැන තවත් කරුණු රැසක් එළියට – තවත් අල්ලස් ගැනීමක් ගැනත් විමර්ශන – ගත් හරක්කටාගේ අල්ලස් මුදලින් කොටසක් හිමිනමක් මගින් ඉහළ පොලිස් නිලධාරීන්ට දීලා

චරිත් සහ රඛිත ගැන තවත් කරුණු රැසක් එළියට – තවත් අල්ලස් ගැනීමක් ගැනත් විමර්ශන – ගත් හරක්කටාගේ අල්ලස් මුදලින් කොටසක් හිමිනමක් මගින් ඉහළ පොලිස් නිලධාරීන්ට දීලා

සංවිධානාත්මක අපරාධ කල්ලි සාමාජික ‘හරක් කටාගේ’ බිරිඳගෙන් අල්ලස් ලෙස ලබාගත් රුපියල් ලක්ෂ 1,200ක මුදලින් කොටසක්, හිමිනමක් මගින් ඉහළ පොලිස් නිලධාරීන්ට ලබා දී ඇති බවට තොරතුරු ලැබී ඇති බවට අල්ලස් කොමිසම විසින් කොළඹ ප්‍රධාන මහේස්ත්‍රාත් අධිකරණයට ඊයේ (17) දැනුම් දී තිබේ.

මෙහිදී විමර්ශනයට අදාළව වැඩිදුර වාර්තාවක් අධිකරණයට ඉදිරිපත් කරමින් කරුණු දැක්වූ නීති අධ්‍යක්ෂ අනුෂා සම්බන්දප්පෙරුම කරුණු වාර්තා කර ඇත්තේ,

“ස්වාමිනි, පසුගිය නඩු වාරයේ මා අධිකරණයට සඳහන් කළා ප්‍රශ්නගත අල්ලස් මුදල මෙම සැකකරුවන්ට ලබාදුන්නේ යැයි කියන නදුන් චින්තක හෙවත් ‘හරක් කටාගේ’ බිරිඳ වන මහේෂිකා මධුවන්ති නැමැත්තියගෙන් ප්‍රකාශයක් ලබාගැනීමට අපි බලාපොරොත්තු වෙනවා කියලා. ඒ අනුව මහේෂිකා මධුවන්ති නැමැත්තිය මේ සිදුවීම සම්බන්ධයෙන් ඇයට කියන්න තියෙන සියලු කාරණා සඳහන් කරලා කරපු වීඩියෝ ප්‍රකාශයක් ඇතුළත් CD තැටියක් මේ වෙද්දී අපිට ලබාදී තිබෙනවා. ඒ වගේම අදාළ අල්ලස් මුදල ලබාදීමෙන් පසු එහි අරමුණු ඉටු නොවීම නිසා ඒ පිළිබඳ විමසීම් කරලා මේ සැකකරුවන් සමඟ සිදුකළ දුරකථන සංවාද පටිගත කර ඇති දුරකථනයද මේ වෙද්දී විමර්ශන නිලධාරින් භාරයට ගෙන තිබෙනවා.

මේ අල්ලස් ලබාගැනීමේ සිදුවීමට අදාළව නිර්මල බණ්ඩාර හෙවත් ‘හර්බි’ නැමැත්තා මුලින් ලබාදුන් ප්‍රකාශයේ සඳහන් වුණා මේ පළමු සැකකාර චරිත් අබේසිංහ අල්ලස් මුදල පිළිබඳ කතා කරගැනීමට දුන් දුරකථන ඇමතුම ඉන්දියාවේ සිට ලබාගත් බවත්, එම අවස්ථාවේ අනිත් සැකකරුවන් දෙදෙනා ද ඔහු සමඟ සිටින බව චරිත් අබේසිංහ පැවසූ බවත්.

ඒ අනුව, ඒ පිළිබඳ සිදුකළ විමර්ශනයේදී අනාවරණය වුණා මෙම සැකකරුවන් තිදෙනා 2023 මාර්තු 03 වැනිදා එකම ගුවන් යානයකින් ඉන්දියාවට ගිහිල්ලා නැවත තිදෙනාම එකට 2023 මාර්තු 07 වැනිදා දිවයිනට පැමිණ ඇති බව. එමෙන්ම ‘හර්බි’ නැමැත්තා සහ මෙම සැකකරුවන් තිදෙනාගේ දුරකථන වාර්තා විශ්ලේෂණය කරපුවාම තහවුරු වුණා ‘හර්බි’ තැනැත්තා කියන කතාව සත්‍යය බව.”

වැඩිදුරටත් කරුණු දැක්වූ නීති අධ්‍යක්ෂ අනුෂා සම්බන්දප්පෙරුම,

“ස්වාමිනි, මේ සිද්ධියට අදාළව නම් කියවුණු අය අතර පමණක් දුරකථන ඇමතුම් 1,300කට අධික ප්‍රමාණයක් හුවමාරු වී ඇති බව දැනට සිදුකරන ලද විමර්ශනවලදී අනාවරණය වී තිබෙනවා. ඒ වගේම මේ අල්ලස් ලබාගැනීමේ සිදුවීමට ඉහළ පොලිස් නිලධාරින් සම්බන්ධ බවට නම් කියවුණා.

අල්ලස් ලෙස ලබාගත් මුදලින් යම් කොටසක් මෙම සැකකරුවන්ට සම්බන්ධ හිමි නමක් හරහා ඉහළ පොලිස් නිලධාරින් වෙත ගොස් ඇති බවට දැනට තොරතුරු ලැබී තිබෙනවා. අදාළ හිමි නම කවුදැයි යන්න මේ වනවිට අනාවරණය වී තිබෙනවා. ඒ පිළිබඳ කරුණු තහවුරු කරගැනීමෙන් පසු ඉදිරි දිනයේදී අධිකරණයට කරුණු වාර්තා කරන්නම්.

ඒ වගේම, මේ සැකකරුවන් තිදෙනාට එරෙහිව තවත් අල්ලස් ලබාගැනීමක් පිළිබඳ පැමිණිල්ලක් අල්ලස් හෝ දූෂණ චෝදනා විමර්ශන කොමිෂන් සභාවට ලැබී තිබෙනවා. ඒ පිළිබඳවත් මේ වෙද්දි විමර්ශනයක් ආරම්භ කර තිබෙනවා.”

අනතුරුව සැකකාර චරිත් අබේසිංහ වෙනුවෙන් ජනාධිපති නීතිඥ නෙවිල් අබේරත්න ඇප අයැදුමක් ඉදිරිපත් කරමින් අධිකරණයට කරුණු දැක්වූවා.

“ස්වාමිනි දූෂණ විරෝධී පනතේ 149(1) වගන්තිය ප්‍රකාර සහතිකයක් ඉදිරිපත් කරන අල්ලස් නඩුවක නඩු භාණ්ඩ ලෙස අල්ලස් ලෙස ලබාගත් මුදල අධිකරණයට ඉදිරිපත් කළ යුතුයි. ඒ වගේම අල්ලස් මුදල ලබාගද්දී අත්අඩංගුවට ගැනීම සිදුවෙලා තියෙන්නත් ඕනේ.

නමුත් මෙහිදී එවැන්නක් ඉදිරිපත් වී නැහැ. ඒ වගේම මේ නඩුවේ සාක්ෂිකරුවන් ලෙස සිටින්නන් සියල්ලම මත්ද්‍රව්‍ය ජාවාරම් සම්බන්ධයෙන් නම් කියවෙන අය. මේවා ස්වාධීන සාක්ෂි ලෙස සලකන්න බැහැ. මගේ සේවාදායකයාගේ වයස අවුරුදු 2 ½ක් වූ තුන් නිවුන් දරුවන්ගෙන් එක් දරුවෙකු මේ වෙද්දී පියා නොදැකීම නිසා කතා නොකරන තත්වයකට පත්වෙලා. ඒ වගේම එම වයසේ දරුවන් තිදෙනෙක් එකට බලාගැනීම මවට විශාල ගැටලුවක්.

ඒ වගේම මොහුට තියෙන හෘදයාබාධ රෝගී තත්වයට දෛනිකව ප්‍රතිකාර ලබා නොගතහොත් ඔහුගේ ජීවිතයට තර්ජනයක් වෙන්න පුළුවන්. මේ සියලු කරුණු සුවිශේෂි කරුණු ලෙස සලකා මාගේ සේවාදායකයාට ඇප ලබාදෙන ලෙස මා ඉල්ලා සිටිනවා.”

සැකකාර නීතිඥ රඛිත රාජපක්ෂ වෙනුවෙන්ද ජනාධිපති නීතිඥ නලින්ද ඉන්දතිස්ස ඇප අයැදුමක් සිදු කරමින් කරුණු දැක්වීමක් සිදු කළා.

“ස්වාමිනි, එක්තරා ජනාධිපති නීතිඥයෙක් රූපවාහිනි සම්මුඛ සාකච්ඡාවකදී කියලා තියෙනවා, මගේ සේවාදායකයාගේ පියා විජයදාස රාජපක්ෂ අධිකරණ ඇමතිවරයා ලෙස මත්ද්‍රව්‍ය සම්බන්ධයෙන් සිදුකළ නෛතික සංශෝධන නිසා තමයි මත්ද්‍රව්‍ය වැරදි සම්බන්ධයෙන් චෝදනා ලැබූවන් විශාල පිරිසක් එළියට එන්න බැරුව ඇතුළේ ඉන්නේ කියලා. ඒ කියන්නේ ස්වාමිනී ඔවුන් මගේ සේවාදායකයා සම්බන්ධයෙන් වෛරයෙන් පසුවන්නේ.

එබැවින් මොහුට බන්ධනාගාරය ඇතුළේ ජීවිත තර්ජනයක් තියෙනවා. මීළඟ කාරණය තමයි මගේ සේවාදායකයා අධික ලෙස sleep apnea රෝගයෙන් පීඩා විඳිනවා. රාත්‍රී කාලයේදී ඔක්සිජන් මට්ටම ඉතාම අඩු මට්ටමකට බහිනවා. කාබන්ඩයොක්සයිඩ් මට්ටම ඉතාම ඉහළට නගිනවා. එකවර හුස්ම නතරවෙනවා. හුස්ම නැවතුනාම ආයේ එන්නේ නැතිවෙන්න පුළුවන්.

මේ නිසා CPAP මැෂින් එකක් දෛනිකව රෑට භාවිත කරනවා. බන්ධනාගාරය තුළදී එය භාවිත කිරීමේ හැකියාවක් ඔහුට නැහැ. දීර්ඝ කාලීනව ප්‍රතිකාර නොලැබුනහොත් මොහු හෘදයාබාධයකට හෝ ආඝාදයට ගොදුරු වෙන්න පුළුවන්. මේ විමර්ශනය කෙළවරට ඇවිල්ලා තියෙන නිසා තවදුරටත් මොහුව රක්ෂිත බන්ධනාගාරගත කරගෙන කරන්න විමර්ශනයක් ඉතිරි වී නැහැ. එබැවින් මේ සියල්ල සුවිශේෂි කරුණු ලෙස සලකා මගේ සේවාදායකයා ඇප මත මුදාහරින ලෙස මා ඉල්ලා සිටිනවා.”

අනතුරුව කරුණු සලකා බැලූ කොළඹ ප්‍රධාන මහේස්ත්‍රාත් අසංග එස්. බෝදරගම විසින් සැකකරුවන් සම්බන්ධයෙන් වන ඇප ඉල්ලීම් පිළිබඳ නියෝගය ජූලි මස 28 වැනිදා ලබා දීමට දින නියම කළ අතර, ඉන්පසු සැකකරුවන් තිදෙනාම යළි රක්ෂිත බන්ධනාගාරගත කිරීමට නියෝග කර තිබේ.

Facebook
Twitter
LinkedIn