2023 සිට බ්‍රසීලයේ ඇමසන් විනාශය 29%කින් නවතී !

2023 සිට බ්‍රසීලයේ ඇමසන් විනාශය 29%කින් නවතී !

2026 ඔක්තෝබර් 25 වන දින බ්‍රසීලයේ ලූලා ද සිල්වා ගේ නැවත පාලන බලයට පත් වීම සම්බන්ධයෙන් වඩාත් සතුටට පත් වී සිටිනුයේ ලෝක පරිසර වේදීන් වේ. 2023 සිට තේරී පත් වූ ලූලා යටතේ, ලෝක පාරිසරික පර්යේෂණ සන්නිවේදන (Environmental Research Communications)හි ප්‍රකාශයට පත් කරන ලද අධ්‍යයනයකට අනුව, ඔහුගේ පාලන කාලය තුලදී ඇමසන් වන විනාශය සැලකිය යුතු ලෙස අඩු වී ඇති අතර නමුත් බොල්සොනාරෝ පාලනය යටතේ 50% කින් ඇමසෝන් ඇතුළු බ්‍රසීල වෘක්ෂලතාදිය එරටට අහිමි වී ඇති බව එම වාර්තාව පෙන්වා දේ.

ලෝක සිතියමේ බ්‍රසීලය ඇමසන් වැසි වනාන්තරයෙන් 60% ක් නියෝජනය කරන අතර එය පෘථිවියේ විශාලතම කාබන් උරාගන්නා පෙනහළු වලින් එකක් ලෙස සැලකේ. 2023 දී නැවත බලයට පත්වීමට පෙර, වාමාංශික නායක ලූලා ද සිල්වා ඇමසන් වනාන්තරය ආරක්ෂා කිරීම සඳහා උද්ඝෝෂනය කළ අතර, 2030 වන විට බ්‍රසීලයේ “වන විනාශය ශුන්‍ය කිරීම” සාක්ෂාත් කර ගැනීමට මැතිවරණ වේදිකාවේ පොරොන්දු විය.

බ්‍රසීල රජය විසින් ඔක්තෝබර් 16 වන දින ඉදිරිපත් කරන ලද සංඛ්‍යාලේඛනවලට අනුව, 1988 දී වාර්තා ආරම්භ වූ දා සිට පසුගිය වසර තුළ බ්‍රසීලියානු ඇමසන් වනාන්තරයේ වන විනාශය එහි අවම මට්ටමට ළඟා වී තිබේ. පසුගිය ඉරිදා, වත්මන් ජනාධිපතිවරයා කොන්සර්වේටිව් සෙනෙට් සභික ෆ්ලේවියෝ බොල්සොනාරෝ පරාජය කළ අතර, ඔහු තම පියා වන ජෙයාර් බොල්සොනාරෝගේ ප්‍රතිපත්ති දිගටම කරගෙන යාමට පොරොන්දු වූ අතර ඔහුගේ පියාගේ ජනාධිපති ධුර කාලයේදී (2019-2023) ඇමසන් වනාන්තර විනාශයේ ඓතිහාසික ත්වරණයකින් සලකුණු විය.

ලූලා ගේ නැවත පත්වීම පිලිබඳ ව ප්‍රංශ සංවර්ධන පර්යේෂණ ආයතනයේ (IRD) පාරිසරික ආර්ථික විද්‍යාඥවරියක් සහ සම්මානිත පර්යේෂණ අධ්‍යක්ෂවරියක් වන කැතරින් ඕබර්ටින් පවසා සිටින්නේ පාරිසරික දෘෂ්ටි කෝණයකින්, ලූලාගේ ජයග්‍රහණය ඇයට “විශාල සහන සුසුමක්” ගෙන ආ බවය. ජයිර් බොල්සොනාරෝ යටතේ බ්‍රසීල වනාන්තර විනාශයට “නිදහස් පාලනයක් ලබා දීමට” සැබවින්ම අපේක්ෂා කර තිබීම ලොව සියළුම පරිසර වේදීන් තම සතුට පලකරන බව ඇය තවදුරටත් පවසා සිටි.

2019 බොල්සොරානෝ පාලනයේ මුල් භාගයේදී, පරිසරය ආරක්ෂා කිරීම සඳහා වගකිව යුතු බ්‍රසීලියානු ෆෙඩරල් ආයතනය වන බ්‍රසීලියානු පරිසර හා පුනර්ජනනීය ස්වාභාවික සම්පත් ආයතනයේ වාර්තාවකට අනුව වන ආරක්ෂාව වෙනුවෙන් වැයකළ මුදල් අයවැය ලේඛණයේ හතරෙන් එකකින් රජය කපා හැර තිබුණි. ඔක්තෝබර් 25 වන ඉරිදා එරට පාරිසරික පර්යේෂණ සන්නිවේදන හි ප්‍රකාශයට පත් කරන ලද අධ්‍යයනයකින් බ්‍රසීල වනාන්තර පිලිබඳ වාර්තාව පවසනුයේ 2019 සහ 2022 අතර ජෙයාර් බොල්සොනාරෝ යටතේ, ඇමසෝන් වනයට වසරකට හෙක්ටයාර මිලියන 1.4 ක් පමණ අහිමි විය. ලූලාගේ වත්මන් ධූර කාලයේ පළමු වසර තුන තුළ, මෙම අගය ආසන්න වශයෙන් හෙක්ටයාර 994,000 දක්වා පහත වැටී ඇත. මේ අනුව පහත වැටීම 29% ක් පමණ වේ. 2003 සිට 2010 දක්වා ලූලා ගේ පාලන කාලය තුළදීත් ඇමසන් වනාන්තරයේ විනාශය 20% ක් පමණ අඩු විය.

ඇමසෝන් වනයේ විනාශයේ මෙම වැඩිවීම සෝයා වගාවේ ව්‍යාප්තිය සහ දුර්වල නීතිමය ආරක්ෂාවන් සමඟ ඍජුව සම්බන්ධ වේ. වරින් වර පත් වූ බ්‍රසීල ජනාධිපතිවරු දශක තුනකට වැඩි කාලයක් තිස්සේ රටේ වනාන්තර සහ සැවානා වල ඉරණම නියම කරමින් සිටිති. එක් පරිසර පද්ධතියක් ආරක්ෂා කරන අතරම තවත් එකක් අහිමි කරමින් සිටින බව පරිසර වේදීන් තම කණස්සල්ල පල කරති. ජාත්‍යන්තර අභ්‍යවකාශ පර්යේෂණ සඳහා වූ ජාතික ආයතනයට (INPE) අනුව, 2025 අගෝස්තු සහ 2026 ජූලි කාලය තුල වර්ග කිලෝමීටර් 3,335ක වනාන්තර විනාශයක් සිදු වී ඇත. 1988 දී වාර්තා ආරම්භ වූ දා සිට සිදු වී ඇති වන විනාශය අවම මට්ටම ලෙස සැලකේ. කෙසේ වෙතත් ජනාධිපති ලූලා ද සිල්වා 2030 වන විට ශුන්‍ය ශුද්ධ වන විනාශයක් ලෝකයට පොරොන්දු වී ඇති අතර නීත්‍යානුකූල හෝ නීති විරෝධී ඕනෑම වනාන්තර හානියක් ප්‍රතිසංස්කරණ මගින් පියවා ගැනීමට තීරණය කර ඇත.

කෙසේ වෙතත් සෝයා තහනම බිඳ වැටීම සහ පාරිසරික බලපත්‍ර ප්‍රතිසංස්කරණය කිරීම, නව නීති මගින් ආදිවාසී ඉඩම් හිමිකම් ද සීමා කිරීම වැනි පියවර දේශපාලන කැමැත්ත මත පවතින විට වන විනාශය සැලකිය යුතු ලෙස අඩු කළ හැකි බව බ්‍රසීලය ලෝකයට පෙන්වා දී ඇති නමුත් විටින විට සිදුවන දේශපාලන බලය වෙනස් වීම තුල මෙම ප්‍රගතිය බිඳෙන සුළු බව පරිසර සංවිධාන තවදුරටත් පෙන්වා දේ.

එසේම ලොව හත්වන විශාලතම බොරතෙල් නිෂ්පාදකයා වන ලතින් ඇමරිකානු දැවැන්තයා වන බ්‍රසීලය පසුගිය වසරේ නිල සංඛ්‍යාලේඛනවලට අනුව දිනකට තෙල් බැරල් මිලියන 3.77 ක් නිෂ්පාදනය කර තිබිණි. ඇමසන් වනය තෙල්වලින් පොහොසත් ය. ලූලා රජය පසුගිය මැයි මාසයේදී ඇමසෝනාස් ප්‍රාන්තයේ තෙල් කැණීම් කටයුතු නැවත ආරම්භ කළ අතර එහිදී නව ළිං 22 ක් සොයා ගැනීමට සමත් වී තිබිණි. අගෝස්තු මාසයේදී සහ පසුව ඔක්තෝබර් මාසයේදී, රටේ උතුරු වෙරළට කිලෝමීටර 180 ක් පමණ දුරින් සමක ආන්තිකයේ ගවේෂණ ළිඳක අනුප්‍රාප්තික තෙල් සොයාගැනීම් දෙකක් නිවේදනය කළේය.

මෙම ප්‍රවණතාවය ලෝකයේ හයිඩ්‍රොකාබන් අර්බුදය, මැද පෙරදිග යුද්ධය, යුක්රේනියානු ප්‍රහාර වලින් රුසියානු තෙල් යටිතල පහසුකම් විනාශ වීම නිසාද බ්‍රසීල තෙල් නිෂ්පාදනය ඉහල දැමීමට බල කර ඇත. එහෙත් ඇමසෝන් වනය ආරක්ෂා කිරීම හා තෙල් නිෂ්පාදනය ඉහල දැමීම නිසා බ්‍රසීල බල ශක්ති ප්‍රතිපත්තිය පරිසර වේදීන්ගේ දැඩි විවේචනයට ලක් වී ඇත.

මේ, වන විට විපක්ෂ ජනාධිපති පරාජිතයා වන ෆ්ලේවියෝ බොල්සොනාරෝ තම වැටීම පිළිගෙන ඇති අතර, මුදල් ශුද්ධි කිරීම, දුෂණ චෝදනා යට‍තේ සිටින ඔහු රටින් පලා යන බවට සිදු කල ප්‍රකාශයක් හේතුවෙන් එරට අධිකරණය බ්‍රසීලයෙන් පිටවීම ඔහුට තහනම් කර ඇති බව වාර්තා වේ.

Facebook
Twitter
LinkedIn