වසර ගණනාවක් තිස්සේ සිදු වූ අවිධිමත් නාගරීකරණය සහ මිනිස් ක්‍රියාකාරකම් හේතුවෙන් දැඩි ලෙස දූෂණයට ලක්ව ඇති කොළඹ බේරේ වැව ප්‍රතිසංස්කරණය කර, එහි ජලයේ ගුණාත්මකභාවය ඉහළ නැංවීමේ විශේෂ ඒකාබද්ධ මෙහෙයුමක් රජය විසින් ආරම්භ කර තිබේ.
නගරයෙන් එකතු වන අපද්‍රව්‍ය, අපජලය සහ විවිධ කුණු කසළ වැවට එකතු වීම නිසා කාලයක් තිස්සේ බේරේ වැව අපවිත්‍ර වූ අතර, මෑතකාලීනව ඇල්ගී සහ සයනොබැක්ටීරියා ශීඝ්‍රයෙන් පැතිර යාම හේතුවෙන් එහි ස්වභාවික සෞන්දර්යය සම්පූර්ණයෙන්ම විනාශ වී ගියේය. මෙම තත්ත්වය පරිසරයට මෙන්ම අවට ජීවත් වන ජනතාවට සහ දිනපතා කොළඹ නගරයට පැමිණෙන ජනතාවටද දැඩි සෞඛ්‍ය හා පාරිසරික බලපෑම් එල්ල කිරීමට හේතු විය.
වගකීම් පැවරීම සහ විද්‍යාත්මක පරීක්ෂණ
මේ සඳහා කඩිනම් විසඳුම් ලබාදීම වෙනුවෙන් බේරේ වැවේ අයිතිය සහ නඩත්තු කටයුතු භාර ශ්‍රී ලංකා වරාය අධිකාරිය සමඟ එක්ව, එහි ජලය නඩත්තු කිරීම සහ කළමනාකරණය කිරීමේ සෘජු වගකීම **ශ්‍රී ලංකා ඉඩම් සංවර්ධනය කිරීමේ සංස්ථාව** වෙත පවරා ඇත.
ඒ අනුව, ශ්‍රී ලංකා ඉඩම් සංවර්ධනය කිරීමේ සංස්ථාව විසින් බේරේ වැවේ ස්ථාන 35ක් ආවරණය වන පරිදි සිදු කරන ලද විශේෂ ජල සාම්පල පරීක්ෂාවකදී අනාවරණය වී ඇත්තේ, වැවේ ජලයේ නයිට්‍රජන්, පොස්පරස් සහ ඇමෝනියා වගේ අහිතකර රසායනික ද්‍රව්‍ය ඉතා ඉහළ මට්ටමක පවතින බවයි. එමෙන්ම ජලයේ ද්‍රාවිත ඔක්සිජන් ප්‍රමාණය (Dissolved Oxygen) ශීඝ්‍රයෙන් පහත හෙළන දූෂක ද්‍රව්‍ය රැසක්ද වැවට එකතු වී ඇති බව එම විද්‍යාත්මක පරීක්ෂණ මඟින් සනාථ වී තිබේ.
ක්‍රියාත්මක වන සංවර්ධන ව්‍යාපෘති
මෙම බරපතළ තත්ත්වයෙන් බේරේ වැව මුදාගැනීම සඳහා ශ්‍රී ලංකා ඉඩම් සංවර්ධනය කිරීමේ සංස්ථාව විසින් මේ වන විට ප්‍රායෝගික වැඩපිළිවෙළ රැසක් ආරම්භ කර ඇත.
* වැවේ පාවෙන කුණු සහ සුන්බුන් ක්‍රමානුකූලව ඉවත් කිරීම.
* ආක්‍රමණශීලී ජලජ වල් පැළෑටි ඉවත් කර වැව් ඉවුරු පිරිසිදු කිරීම.
* ජලයේ තත්ත්වය නිරන්තරයෙන් නිරීක්ෂණය කරමින් දූෂණයට බලපාන මූලාශ්‍ර හඳුනා ගැනීම.
* ගංගාරාම විහාරස්ථානය ආසන්න නිරිතදිග බේරේ වැව් කලාපයේ වසර ගණනාවක් තිස්සේ එකතු වී ඇති රොන්මඩ ඉවත් කිරීමේ කටයුතු කඩිනම් කිරීම.
මෙම රොන්මඩ ඉවත් කිරීමේ ව්‍යාපෘතිය හරහා වැවේ ජල සංසරණය විධිමත් වන අතර, ඉදිරි නඩත්තු කටයුතු පහසු කිරීමටත්, බෝට්ටු ගමනාගමන කටයුතු යළි ක්‍රියාත්මක කිරීමටත් අවශ්‍ය පසුබිම සකස් කෙරේ.
පොදු ජනතාවගේ වගකීම
බේරේ වැව පිරිසිදු කර සුරක්ෂිත කිරීමේ වගකීම රජයට හෝ වගකිවයුතු ආයතනවලට පමණක් තනිව කළ නොහැකි බව පෙන්වා දෙන බලධාරීන්, ඒ සඳහා සමස්ත පුරවැසියන්ගේ සහයෝගය අත්‍යවශ්‍ය බව අවධාරණය කරයි. මහජනතාව තමන්ගේ දෛනික අපද්‍රව්‍ය නිසි පරිදි බැහැර කරමින්, මෙවැනි ජල මූලාශ්‍රවලට හානි නොවන පරිදි වගකීමෙන් කටයුතු කිරීම පිරිසිදු බේරේ වැවක් මෙන්ම පිරිසිදු ශ්‍රී ලංකාවක් ගොඩනැගීමේ ජාතික ගමනට දිය හැකි ඉහළම දායකත්වයයි.















