මීගමුව බන්ධනාගාරයේ ඛේදවාචකය – තිරය පිටුපස කතාව

මීගමුව බන්ධනාගාරයේ ඛේදවාචකය – තිරය පිටුපස කතාව

පසුගිය ආණ්ඩුවල ප්‍රබල දේශපාලනඥයින්ගේ අනුග්‍රහයෙන් පවත්වා ගෙන ගිය සංවිධානාත්මක අපරාධ කල්ලි සහ මත්ද්‍රව්‍ය ජාවාරම් කල්ලි නීත්‍යානුකූලව පියවරෙන් පියවර මර්දනය කරමින් සිටියදී මීගමුව බන්ධනාගාරයේ සිදු වූ ගැටුමෙන් හට ගත් ඛේදවාචකය අතීත සිදුවීම් කිසිවකට සමාන නොවන බව විශ්ලේෂකයින් බොහෝ දෙනෙකු පෙන්වා දී ඇත.

පෙරේදා (05) රැඳවියන් දෙපිරිසක් අතර ගැටුමක් හට ගෙන තිබෙන්නේ මත්ද්‍රව්‍ය ජාවාරම් සම්බන්ධයෙන් බන්ධනාගාර නිලධාරීන්ට එක් පිරිසක් විසින් තොරතුරු සපයන බවට චෝදනා කරමින් සංවිධානාත්මකව එල්ල කළ ප්‍රහාරයකින් පසුව ය. එහි දී රැඳවියන් දෙදෙනෙකු ඝාතනය වී 30 ක් පමණ තුවාල ලබා තිබිණි. ඊයේ (06) උදෑසන බන්ධනාගාරයේ සාමාන්‍ය කටයුතු සඳහා මෙහෙයවමින් සිටින අතර, ගැටුමට මුල් වූ කණ්ඩායම්වල අනිසි බියක් හෝ කෝපයක් හට ගැනීම වැළැක්වීම සඳහා සිවිල් ඇඳුමින් සැරසුණු නිලධාරීන් රාජකාරි කටයුතුවලට යොදා තිබිණි.

මේ අවස්ථාවේ සංවිධානාත්මක රැඳවියන් පිරිසක් සිවිල් ඇඳුමින් සිටි නිලධාරීන් හට ම්ලේච්ඡ ආකාරයෙන් පහර දී ඇති අතර, එම ගැටුම සමථයකට පත් කිරීමට ගොස් සිටි නිල ඇඳුම් සහිත නිලධාරීන්ට ද පහර දී තිබේ. ඒ අතර, බන්ධනාගාරයේ අවි ගබඩාව බිඳ ආයුධ පැහැර ගෙන ඇත. නිලධාරීන් සතුව තිබූ ගිනි අවි ද පැහැර ගෙන බන්ධනාගාරයේ ප්‍රධාන ගේට්ටුව දක්වා එම සංවිධානාත්මක කල්ලිය ප්‍රහාර එල්ල කරමින් පැමිණ ඇත. ඒ අතරතුර බන්ධනාගාරයේ අභ්‍යන්තරය තුළ දේපළ විනාශ කර ඇති අතර, තවදුරටත් ප්‍රහාර දියත් කිරීම වළක්වා ගැනීමට පොලිසිය සහ විශේෂ කාර්ය බලකාය යෙදවීමට සිදු විය.

මෙම ගැටුමේ දී බන්ධනාගාර නිලධාරීන් 07 දෙනෙකු සහ රැඳවියන් 19 දෙනෙකු මරණයට පත් වී ඇත. මේ අතර, මහර බන්ධනාගාරයෙන් රැඳවියන් ඝාතනය, වැලිකඩ ඝාතනය වැනි අතීත සිදුවීම් සමඟ මෙය සංසන්දනය කිරීමට ඇතැමුන් උත්සාහ දරමින් සිටිති. එහෙත්, වත්මන් ආණ්ඩුව බලයට පත් වීමෙන් පසුව හදිසි නීතිය යටතේ පාලනය කිරීම හෝ මේ දක්වා පැවති උද්ඝෝෂණවලට අවම වශයෙන් ජල ප්‍රහාරයක් හෝ එල්ල කර මර්දනයක් සිදු කර නොතිබිණි. බූස්ස බන්ධනාගාරය තුළ හට ගත් ගැටුමක් මැඩ පැවැත්වීමට කඳුළු ගෑස් ප්‍රහාරයක් පමණක් එල්ල කරනු ලැබීය. එසේ තිබියදී මෙම ඛේදවාචකය පිළිබඳව අධිකරණ අමාත්‍යවරයා වගකීම බාර ගනිමින් මියගිය සහ තුවාල ලැබූ සියළුම දෙනාගේ පවුල්වලට කනගාටුව ප්‍රකාශ කර මෙම ගැටුම පිළිබඳව විමර්ශනය කිරීම සඳහා විශ්‍රාමික අධිකරණ විනිසුරුවරුන් තිදෙනෙකුගෙන් සමන්විත කමිටුවක් ද ඉතා ඉක්මනින් පත් කරනු ලැබීය.

Facebook
Twitter
LinkedIn

උණුසුම් පුවත්