ශ්‍රීලංකන් ගුවන් සමාගම මහින්ද රාජපක්ෂ මුදල් අමාත්‍යවරයා යටතේ පැවතිය දී රුපියල් කෝටි 46,100ක දැවැන්ත අලාභයක් ලැබීම දක්වා විනාශකාරී අන්තයකට ගෙන ගිය ආකාරය 2020 පෙබරවාරි 20 වෙනි දින පැවති පාර්ලිමේන්තු විවාදයක දී නලීන් බණ්ඩාර මන්ත්‍රීවරයා හෙළි කර ඇත.
වංචා දූෂණ ඇතුළු මූල්‍ය අපරාධ සම්බන්ධයෙන් ස්වාධීනව අධිකරණ ක්‍රියාමාර්ග ගැනෙමින් තිබෙන වර්තමානයේ දී සමගි ජන බලවේගයේ නායක සජිත් ප්‍රේමදාස ඇතුළු සියලු පිරිස රාජපක්ෂ පවුල ආරක්ෂා කිරීම වෙනුවෙන් ද විශාල කාර්යභාරයක් ඉටු කරමින් සිටිති. එහෙත්, 2020 වැනි කාලයක දී එම පක්ෂයේ නලීන් බණ්ඩාර මන්ත්‍රීවරයා හෙළි කර තිබෙන්නේ ශ්‍රීලංකන් ගුවන් සමාගම 2007 / 2008 මූල්‍ය වර්ෂයේ දී රුපියල් මිලියන 4,428ක ලාභයක් උපයා වසරක් තුළ, එනම් 2008 / 2009 මූල්‍ය වර්ෂය වනවිට රුපියල් මිලියන 9,306ක අලාභයක් දක්වා ඇද දමන ලද බව ය.
එතැන් සිට 2014 / 2015 මූල්‍ය වර්ෂය අවසන් වනවිට ශ්‍රීලංකන් ගුවන් සමාගම රුපියල් කෝටි 46,100ක් වූ අති දැවැන්ත අලාභයක් ලබන තත්වයට ඇද දමන ලද ආකාරය විස්තර කර තිබිණි. එම හැන්සාඩ් වාර්තාව පහත දැක්වේ.
මෙම ලිපියේ අන්තර්ගතය පහත පරිදි වේ:
උපුටා ගැනීම
එයාර්බස් ගනුදෙනුව AIRBUS DEAL
ගරු නලින් බණ්ඩාර ජයමහ මහතා (The Hon. Nalin Bandara Jayamaha)
ගරු කථානායක තුමනි, සභාව කල් තබන අවස්ථාවේදී මා පහත සඳහන් යෝජනාව ඉදිරිපත් කරනවා.
“එක්සත් රාජධානියේ අධිකරණයක් විසින් 2020 ජනවාරි මස 31 වෙනි දින ලබා දුන් නඩු තීන්දුවක් මඟින් පසුගිය රාජපක්ෂ පාලන සමයේ සිදු වූ සුප්‍රසිද්ධ වංචා සහගත ගනුදෙනුවක් වන ශ්‍රී ලන්කන් ගුවන් සමාගම සඳහා ප්‍රංශයේ එයාර්බස් සමාගමෙන් ගුවන් යානා 10ක් මිලදී ගැනීමේ සිද්ධිය නැවත කරළියට පැමිණ තිබේ.
A330 වර්ගයේ ගුවන් යානා හයක් හා A350 වර්ගයේ ගුවන් යානා හතරක් ශ්‍රී ලන්කන් ගුවන් සමාගමට මිලදී ගැනීමත්, තවත් A350 ගුවන් යානා හතරක් බද්දට ගැනීමටත් මෙම ගිවිසුම් ඇති කරගෙන ඇති අතර, ශ්‍රී ලන්කන් ගුවන් සමාගම මිලදී ගන්නා සෑම A330 ගුවන් යානයක් සඳහා ඩොලර් මිලියනයක්ද, බදු ගන්නා සෑම A350 ගුවන් යානයකටම මිලියන 1.16ක්ද වශයෙන් ඇමෙරිකානු ඩොලර් මිලියන 16.84 ක කොමිස් මුදලක් ද ගෙවීමට එකඟ වී ගිවිසුමක් අත්සන් කර ඇති බවත්, එම කොමිස් මුදලෙන් ඇමෙරිකානු ඩොලර් මිලියන 02ක මුදලක් 2011 වසරේ සිට 2015 ජනවාරි මාසය දක්වා ශ්‍රී ලන්කන් ගුවන් සමාගමේ ප්‍රධාන විධායක නිලධාරියා වශයෙන් කටයුතු කරන ලද කපිල චන්ද්‍ර සේන නමැත්තාගේ භාර්යාවගේ බැංකු ගිණුමකට බැර වී ඇති බවත්, එමඟින් අනාවරණය වී ඇත. මෙම ගනුදෙනුවේදී සිදුව ඇති අක්‍රමිකතා වලට අමතරව, මෙම දූෂිත ගනුදෙනුව අවලංගු කිරීම හේතුවෙන් රුපියල් බිලියන 17 ක් ගෙවීමට ද රජයට සිදුව ඇත.
මෙම තත්ත්වය යටතේ, මෙම සාපරාධි ගනුදෙනුවට සම්බන්ධ පුද්ගලයින්ට එරෙහිව නීතිය ක්‍රියාත්මක කරන්නේද යන්නත් මෙම පාඩුව රජයට අය කර ගැනීමට ගනු ලබන ක්‍රියාමාර්ග මොනවාද යන්නත් රජයෙන් විමසා සිටින අතර, මෙම ගනුදෙනුව සම්බන්ධව අනාවරණය වී ඇති කරුණු සියල්ල පිළිබඳව රජය විසින් මෙම ගරු සභාවත්, රටේ මහජනතාවත් වහාම දැනුවත් කිරීමට කටයුතු කළ යුතු බව යෝජනා කරමි.”
ගරු කථානායකතුමනි, මේ රාජපක්ෂ පාලනය ආරම්භ කරලා මාස තුනයි. මීට කලින් 2010ත් 2015ත් අතර රාජපක්ෂ පාලනය තිබුණු කාලයේ අපි දිගින් දිගටම කථා කළා, මේ ශ්‍රී ලන්කන් එයාර්ලයින්ස් සමාගම සම්බන්ධව. අපි දිගින් දිගටම කථා කළා! හැබැයි, අද මේ රජය බලයට පත් වුණු ගමන්ම ඩොලර් මිලියන 16.84ක කොමිස් මුදලක් ඉල්ලා ඒ කෙන් ඩොලර් මිලියන දෙකක්, -රුපියල් කෝටි 38කට ආසන්න මුදල් ප්‍රමාණයක් – එවකට ප්‍රධාන විධායක නිලධාරිවරයා වශයෙන් හිටපු කපිල චන්ද්‍රසේනගේ නෝනාගේ ගිණුමට බැර කරලා තිබෙනවා. කවුද, මේ කපිල චන්ද්‍රසේන කියන්නේ? ඔහු තමයි මේ ගොල්ලන් මංකොල්ල කාලා අරගත්තු ආණ්ඩුව තුළ, රාජපක්ෂ මහත්තයාගේ දවස් 52 ආණ්ඩුව තුළ ශ්‍රී ලන්කන් එයාර්ලයින්ස් සමාගමේ සභාපති ධුරයට තෝරා ගත්තු නිලධාරියා. ඔහු 2010 සිට 2015 වනතුරු ඒ සමාගමේ ප්‍රධාන විධායක නිලධාරි; දවස් 52 ආණ්ඩුව තුළ ශ්‍රී ලන්කන් එයාලයින්ස් සමාගමේ සභාපතිවරයා.
ඒ විතරක් නොවෙයි. 2010 සිට 2015 වනතුරු ශ්‍රී ලන්කන් එයාර්ලයින්ස් සමාගමේ සභාපතිවරයා හැටියට හිටියේ කවුද? නිශාන්ත වික්‍රමසිංහ මහත්මයායි. මේ ඩොලර් මිලියන දෙකක කොමිස් මුදල ප්‍රධාන විධායක නිලධාරියාගේ ගිණුමට වැටෙන කොට ඒ සමාගමේ ප්‍රධාන සභාපතිවරයා එතුමායි. ඒ සභාපතිවරයා කවුද? ඒ, වෙන කවුරුත් නොවෙයි, මහින්ද රාජපක්ෂ වර්තමාන අගමැතිතුමාගේ ආර්යාවගේ වැඩිමහල් සහෝදරයායි. එහෙම නම් නිශාන්ත වික්‍රමසිංහ මහත්මයා නොදැන ඒ කොමිස් මුදල ගන්න පුළුවන්ද? එතකොට ඒ ඩොලර් මිලියන 16.84න් ඉතුරු මුදල් කාටද ගියේ?
728 ඩොලර් මිලියන 16.84 න් ඩොලර් මිලියන දෙකක් තමයි ප්‍රධාන විධායක නිලධාරියාට ගියේ. ගරු කථානායක තුමනි, රුපියල් බිලියන 2.5 කට ආසන්න ප්‍රමාණයක්. ප්‍රධාන විධායක නිලධාරියාට ඇමෙරිකානු ඩොලර් මිලියන දෙකක් ආවා නම්, ඇමෙරිකානු ඩොලර් මිලියන 16.84හි ඉතිරි මුදල කොහේටද ගියේ? ඒ වෙලාවේ හිටපු සභාපතිවරයා නිශාන්ත වික්‍රමසිංහ මහත්මයායි; මස්සිනායි. ශ්‍රී ලංකන් එයාර්ලයින්ස් එක “මස්සිනාකරණය” කළා කියලා අපි කිව්වා. ඒ වෙලාවේ මේ ආයතනය භාරව හිටපු ඇමතිවරයා මහින්ද රාජපක්ෂ මහත්මයා; රටේ ජනාධිපතිවරයා.
එහෙම නම්, මේ ගරු සභාවෙන් අපි අහනවා, මහින්ද රාජපක්ෂ මහත්මයා නොදැනද, නිශාන්ත වික්‍රමසිංහ මහත්මයා නොදැනද, මේ කපිල චන්ද්‍රසේන ඇමෙරිකානු ඩොලර් මිලියන දෙක – රුපියල් කෝටි තිස්අට – ගත්තේ කියලා. මේක වෙන්න බැහැ, ගරු කථානායකතුමනි. අපි දන්නවා, ශ්‍රී ලංකන් එයාර්ලයින්ස් සමාගමට අත්වුණු ඉරණම මොකක්ද කියලා. 1947 වසරේ “එයාර් සිලෝන්” විධියට පටන් ගත්ත ශ්‍රී ලංකන් එයාර්ලයින්ස් සමාගම 1978 වසරේ රජයට පවරා ගත්තා. එම සමාගම 1998 වසරේ සියයට 40ක කොටස් එමිරේටස් සමාගමට දෙනවා. එමිරේට්ස් සමාගමට දුන්නු දවස දක්වා ලොකු ලාභයක් “ශ්‍රී ලංකන් එයාර්ලයින්ස් සමාගම” ලැබුවේ නැහැ.
හැබැයි, ගරු කථානායක තුමනි, මේ සමාගම එමිරේට්ස් ආයතනයට ලබා ගත් පසුව 1998/1999 වසරේදී රුපියල් මිලියන 1,273 ක් ලාභ ලබනවා; 1999/2000 වසරේදී රුපියල් මිලියන 3,661ක් ලාභ ලබනවා; 2000/2001 වසරේදී රුපියල් මිලියන 2,049 ක් ලාභ ලබනවා; 2002/2003 වසරේදී රුපියල් මිලියන 3,347 ක් ලාභ ලබනවා; 2003/2004 වසරේදී රුපියල් මිලියන 7,424ක් ලාභ ලබනවා; 2004/2005 වසරේදී රුපියල් මිලියන 460ක් ලාභ ලබනවා; 2005/2006 වසරේදී රුපියල් මිලියන 476ක් ලාභ ලබනවා, 2006/2007 වසරේදී රුපියල් මිලියන 568ක් ලාභ ලබනවා. 2007/2008 වසරේදී රුපියල් මිලියන 4,428 ක් ලාභ ලබමින් තිබුණු ශ්‍රී ලංකන් එයාර් ලයින්ස් සමාගම, ඒ අවුරුදු 10ක ගිවිසුම අවලංගු කරලා ඒ වෙනුවෙන් ඒ සමාගමට වන්දි ගෙවලා තමයි රාජපක්ෂ රජයට පවරා ගන්නේ. ඒ සඳහා මුදල් යොදවන්නේ ලංකා බැංකුව, මහජන බැංකුව, ජාතික ඉතිරි කිරීමේ බැංකුව සහ සේවක අර්ථ සාධක අරමුදලයි. ඒ, සේවක අර්ථ සාධක අරමුදලට හානි කරපු තවත් අවස්ථාවක් තමයි. කෝටි ගණනකින් සේවක අර්ථ සාධක අරමුදලට හානි කරලා තිබුණා, හොරකම් කරලා තිබුණා කියලා වෝහාරික විගණන වාර්තාව තුළින් අපි, ඊයේ පෙරේදා දැක්කා.
මෙන්න, සේවක අර්ථ සාධක අරමුදල අවභාවිත කරපු තවත් අවස්ථාවක්. මෙහෙම රජයට පවරා ගත්ත ශ්‍රී ලංකන් එයාර්ලයින්ස් සමාගම ඉන් පසුව මස්සිනාට භාර දෙනවා. රාජපක්ෂ පාලනය, පවුල් පාලනය විසින් “මස්සිනා කරණයට” භාර දෙනවා. මස්සිනා කරණයට භාර දුන්නාට පසුව මොකද වෙන්නේ? එතෙක් ලාභ ලබපු ශ්‍රී ලන්කන් එයාර්ලයින්ස් සමාගම ඉන් පසුව පාඩු ලබන්න පටන් ගන්නවා. 2008/2009 වසරේ රුපියල් මිලියන 9,306 ක් පාඩු ලබනවා. 2009/2010 වසරේ රුපියල් මිලියන 2,698 ක් ලාභ ලබනවා. 2010/2011 වසරේ රුපියල් මිලියන 382 ක් අලාභ ලබනවා. 2011/2012 වසරේ රුපියල් මිලියන 19,778 ක් අලාභ ලබනවා; පාඩු ලබනවා. 2012/2013 වසරේ රුපියල් මිලියන 26,089 ක් පාඩු ලබනවා. 2013 වසරේ විතරක් රුපියල් බිලියන 26ක් පාඩු ලබනවා.
729 2020 පෙබරවාරි 20 රුපියල් බිලියන 26ක් කියන්නේ ගරු මන්ත්රීවරුනි නෙළුම් කුලුනු දෙකක් හදන සල්ලි. 2013/2014 වසරේ රුපියල් මිලියන 32,408ක් අලාභ ලබනවා. 2014/2015 වසරේ රුපියල් බිලියන 16ක් අලාභ ලබනවා. ඒ සියල්ලේ එකතුව රුපියල් බිලියන 461ක්. මස්සිනා කරණය හරහා ශ්‍රී ලන්කන් එයාර්ලයින්ස් එක ලැබූ අලාභය රුපියල් බිලියන 461ක්!
රාජපක්ෂවරු ශ්‍රී ලන්කන් එයාලයිස් එකේ රුපියල් බිලියන 461 ක් පාඩු කරලා තිබෙනවා, 2008 සිට 2015 වනතෙක්. කොළඹ-කටුනායක අධිවේගී මාර්ගය හදන්නට ගියේ රුපියල් බිලියන 50යි. කොළඹ – කටුනායක අධිවේගී මාර්ගය වාගේ මාර්ග 9ක් හදන්න පුළුවන් මුදල් ශ්‍රී ලන්කන් එයාර්ලයින්ස් එකෙන් හොරකම් කරලා තිබෙනවා; අලාභ කරලා තිබෙනවා. ඒ විතරක් නොවෙයි, නොරොචෝලේ බලාගාරය හදන්නට ගියේ රුපියල් බිලියන 150යි. නොරොචෝලේ බලාගාරය වාගේ 3 ක් හදන මුදල්, කොළඹ – කටුනායක අධිවේගී මාර්ගය වාගේ 9ක් හදන්න පුළුවන් මුදල්, නෙළුම් කුලුන වාගේ 16ක් හදන්න පුළුවන් මුදල් මස්සිනා කරණය නිසා ශ්‍රී ලන්කන් එයාර්ලයින්ස් සමාගමට අහිමි වෙලා තිබෙනවා.
කපිල චන්ද්‍ර සේන මහත්මයලා දාගෙන එදා ශ්‍රී ලන්කන් එයාර්ලයින්ස් එකට අලාභ කළා විතරක් නොවෙයි, මහා ගනු දෙනුවක් කරලා තිබෙනවා, ශ්‍රී ලන්කන් එයාර්ලයින්ස් එකට කුලී පදනම මත airbuses ගෙන එමේ ගිවිසුම හරහා. කපිල චන්ද්‍රසේන මහත්මයා ඇමෙරිකානු ඩොලර් මිලියන 2 ක් හොරකම් කළා නම්, මේ කොමිස් ගනුදෙනුව ඩොලර් මිලියන 16.84යි නම්, ඉතිරි ඩොලර් මිලියන 14.84 කොහේටද ගියේ? ඩොලර් මිලියන 2ක් කපිල චන්ද්‍රසේනගේ නෝනාගේ ගිණුමට බැර වෙලා තිබෙනවා කියලා පැහැදිලිවම ඔප්පු වෙලා තිබෙනවා.
අපි පැහැදිලිව කියන්න කැමැතියි, රාජපක්ෂ පාලනය තුළ කපිල චන්ද්‍ර සේන මහත්මයාට විශාල ගෞරවයක් තිබුණු බව. ඒ නිසා තමයි, 2019 වර්ෂයේ “දවස් 52 ආණ්ඩුවෙන්” ශ්‍රී ලන්කන් එයාර්ලයින්ස් සමාගමේ සභාපතිවරයා වශයෙන් පත් කරලා ඔහුට promotion එකක් දුන්නේ. ගුවන් යානා 8ක් මිලදී ගන්න කොට, ඒ ගනු දෙනුවෙන් ප්‍රධාන විධායක නිලධාරියාට තනියම ගහන්න බැහැ. කපිල චන්ද්‍ර සේන මහත්මයාට ඉහළින් සිටියේ රාජපක්ෂ මහත්මයාගේ මස්සිනා, නිශාන්ත වික්‍රමසිංහ මහත්මයා. එහෙම නම්, ඔහු මෙයට සම්බන්ධයි. මේ රටේ නායකයා නොදැනුවත්ව ශ්‍රී ලන්කන් එයාර්ලයින්ස් සමාගමට ගුවන් යානා 8ක් ගෙනෙන්න බැහැ. එහෙම නම්, හාල් මැස්සෙක් තමයි කපිල චන්ද්‍ර සේන කියන්නේ.
මේක නාඩගමක්. මේ නාඩගමේ කොටසක් තමයි, ඊයේ පෙරේදා උදයංග වීරතුංග මහත්මයාගේ පැමිණීම. පොලිසිය ඔහු උසාවියට ඉදිරිපත් කර තිබුණේ ඇප ලැබෙන විධියට. කපිල චන්ද්‍රසේන මහත්මයාත්, උදයංග වීරතුංග මහත්මයාත් බේරන්න අද කටයුතු කරමින් ඉන්නවා. රාජපක්ෂ පාලනය හොරුන් අත්අඩංගුවට ගන්න එක නොවෙයි, හොරුන්ට නිදහස දෙන්නයි අද කටයුතු කරමින් ඉන්නේ. අපි පැහැදිලිවම කියනවා, කපිල චන්ද්‍රසේන මහත්මයා විතරක් නොවෙයි, එවකට හිටපු සභාපතිවරයා ඇතුළු සියලු දෙනා වහාම අත්අඩංගුවට ගත යුතුයි කියලා.
ගිණුම්වලට ඩොලර් මිලියන 2ක් බැර වෙලා තිබෙනවා. එහෙම නම් තවත් බල – බලා ඉන්නේ මොකටද? අද කාටද දඬුවම් දෙන්නේ? මේ සභාවේ ඉන්න රන්ජන් රාමනායක මන්ත්‍රීතුමාටයි දඬුවම් දෙන්නේ.
උපුටා ගැනීම අවසන්.










