ග්‍රාමීය ආර්ථිකයට මෙන්ම ජාතික ආර්ථිකයටද බරපතල තර්ජනයක් ඇති කර තිබෙන අලි මිනිස් ගැටුම අවම කිරීමට රුපියල් මිලියන 1,765ක් මෙරවර අයවැයෙන් වෙන් කරන බව මුදල්, ක්‍රමසම්පාදන හා ආර්ථික සංවර්ධන ඇමති, ජනාධිපති අනුර දිසානායක 2026 අයවැය කතාව ඉදිරිපත් කරමින් පැවසීය.
එමෙන්ම අලිවැට අධීක්ෂණය හා අලි – මිනිස් ගැටුම අවම කිරීම සඳහා විශේෂ පුහුණුවක් ලබා දී සිවිල් ආරක්ෂක සේවාවේ නිලධාරීන් 5,000ක් වනජීවී දෙපාර්තමේන්තුව වෙත ස්ථීර පදනමින් අනුයුක්ත කිරීමටද අයවැය යෝජනා ඉදිරිපත් කරමින් ජනාධිපති අනුර දිසානායක පැවසීය.
ජනාධිපති සිය අයවැය කතාව ඉදිරිපත් කරමින් වැඩිදුරටත් සඳහන් කළේ,
“සෑම වසරකම අලි මිනිස් ගැටුම හේතුවෙන් මිනිස් ජීවිත 80ක් පමණ සහ අලි ඇතුන් 260කට අධික සංඛ්‍යාවක් රටට අහිමි වෙනවා. මේ අතරින් වැඩිම සිදුවීම් සංඛ්‍යාවක් වාර්තා වන්නේ අනුරාධපුර, පොළොන්නරුව සහ අම්පාර දිස්ත්‍රික්කවලයි. ශ්‍රී ලංකාවේ අලි මිනිස් ගැටුම ග්‍රාමීය ආර්ථිකයට මෙන්ම ජාතික ආර්ථිකයට ද බරපතල තර්ජනයක් ඇති කරනවා.
වනජීවී සංරක්ෂණ දෙපාර්තමේන්තුවේ කාර්යක්ෂමතාව වැඩි කිරීම සඳහා අත්‍යවශ්‍ය වාහන 294ක් සහ නවීන සන්නිවේදන උපකරණ ලබා ගැනීමට අනුමැතිය ලබා දී තිබෙනවා.
මේ වන විට ඉදිකර අවසන්ව එහෙත් අබලන්ව, බිඳ වැටී ඇති, අඩක් ඉදිකර ඇති හෝ ඉදිකිරීමට සැලසුම් කර ඇති, අත්‍යවශ්‍ය බවට හඳුනාගත් සියලුම ප්‍රදේශ තුළ සියලු විදුලි වැටවල ඉදිකිරීම් අවසන් කිරීම සඳහා දැනට වෙන් කර ඇති මුදලට අමතරව රුපියල් මිලියන 300ක් වෙන් කර තිබෙනවා.
අලිවැට අධීක්ෂණය හා අලි – මිනිස් ගැටුම අවම කිරීම සඳහා විශේෂ පුහුණුවක් ලබා දී සිවිල් ආරක්ෂක සේවාවේ නිලධාරීන් 5,000ක් වනජීවී දෙපාර්තමේන්තුව වෙත ස්ථීර පදනමින් අනුයුක්ත කිරීමට ද යෝජනා කරනවා.
විදුලි වැට නිරික්ෂණ හා නඩත්තු කටයුතු සඳහා අනුයුක්ත කරනු ලබන සිවිල් ආරක්ෂක නිලධාරීන්ට ආහාර දීමනා හා උපකරණ නඩත්තු කටයුතු සඳහා අදාළ ඉන්ධන දීමනා ලබා දීම සඳහා රුපියල් මිලියන 375ක් වෙන් කර තිබෙනවා.
අලි ඇතුන් සඳහා ආහාර සහ ජලය ලබා දීම තහවුරු කිරීම සඳහා තණබිම් සහ ජල මූලාශ්‍ර කළමනා කරණ කටයුතු සඳහා, රුපියල් මිලියන 80 ක ප්‍රතිපාදන වෙන් කර තිඛෙනවා.
අලි – මිනිස් ගැටුම පාලනය කිරීමට විදුලි වැට ඉදිකිරීම් සම්පුර්ණ කිරීම ඇතුළු අනෙකුත් අදාළ කාර්යයන් සිදු කිරීම සඳහා වනජීවි සංරක්ෂණ දෙපාර්තමේන්තුව වෙත වෙන් කර ඇති ප්‍රතිපාදන වලට අමතරව තවත් රුපියල් මිලියන 1,000ක අතිරේක ප්‍රතිපාදනයක් වෙන් කිරීමට යෝජනා කරනවා.
මෙම අලි – මිනිස් ගැටුම් අවම කිරීම සඳහා විදුලි වැටවල් ඉදිකිරීම් වැනි කාර්යයන් වලින් ඔබ්බට ගොස් දිගු කාලීන, පර්යේෂණ පාදක විසඳුම් සොයා ගැනීම සඳහා රුපියල් මිලියන 10ක් වෙන් කිරීමට යෝජනා කරනවා.” යනුවෙනි.










