නුගේගොඩ ගරාජයකින් හමු වූ වෙඩි නොවදින මෝටර් රථය ගැන තවදුරටත් විමර්ශන

නුගේගොඩ ගරාජයකින් හමු වූ වෙඩි නොවදින මෝටර් රථය ගැන තවදුරටත් විමර්ශන

නුගේගොඩ, පාගොඩ පාරේ පිහිටි ගරාජයක තිබියදී බස්නාහිර පළාත දකුණ අපරාධ කොට්ඨාසය විසින් පෙරේදා (21) සොයාගත් අංක තහඩු ද රහිත වෙඩි නොවදින බෙන්ස් වර්ගයේ මෝටර් රථය පිළිබඳ වැඩිදුර විමර්ශන ක්‍රියාත්මක බවත් ඒ සම්බන්ධයෙන් ඉදිරියේදි නුගේගොඩ අධිකරණයට කරුණු වාර්තා කිරීමට නියමිත බවත් පොලිසිය පවසයි.

මෙම මෝටර් රථය ජර්මනියේ නිෂ්පාදිත එකක් බවත් එය 2008 වසරේදී මෙරටට ආනයනය කරන ලද මෙම මෝටර් රථයක් බවත් මේ වනවිට අනාවරණය වී ඇත.

රථය පිළිබඳව රේගුවෙන් හා ඩිමෝ ආයතනයෙන් කළ පරීක්ෂා කිරීම්වලදී, එය 2008 වසරේදී ඉන්දීය තානාපති කාර්යාලය මගින් මෙරටට ගෙන්වූවක් බවට තොරතුරු අනාවරණය වී තිබේ.

ඒ අනුව, ඉන්දීය තානාපති කාර්යාලයෙන්ද වාර්තාවක් කැඳවා ඇති අතර, මෙම මෝටර් රථය යම් ප්‍රභූ පුද්ගලයකු භාවිත කළේද, නැතහොත් කිසියම් අපරාධ ක්‍රියාවක් සඳහා යොදාගෙන ඇත්ද යන්න සොයා බැලීමට අංශ කිහිපයක් ඔස්සේ පරීක්ෂණ ආරම්භ කර ඇතැයි පොලිසිය පවසයි.

පාගොඩ පාරේ පළමුවන පටුමගේ පිහිටි මෙම ගරාජයේ සැකකටයුතු පුද්ගලයකු රැඳී සිටින බවට ලද තොරතුරක් මත පොලිස් නිලධාරීන් කණ්ඩායමක් එම ස්ථානය පරීක්ෂා කිරීමට ගොස් ඇත. එහිදී අලුත්වැඩියාවක් සඳහා ගෙන ආ බව පවසමින් වසා දමා තිබූ මෝටර් රථයක් නිරීක්ෂණය කර තිබේ.

එහි දොරවල් විවෘත කිරීමේදී පැවති අධික බර නිසා ඇති වූ සැකය මත සිදුකළ වැඩිදුර පරීක්ෂාවේදී එය වෙඩි නොවදින රථයක් බවට තහවුරු වී ඇත.

පොලිසිය විසින් මෝටර් රථය සිය භාරයට ගෙන සිදුකළ විමර්ශනවලදී, ගරාජ හිමිකරු පවසා ඇත්තේ පසුගිය මැයි මස 23 වන දින මෙම රථය අලුත්වැඩියාවක් සඳහා රැගෙන ආ බවත් එසේ ගෙන ආ පුද්ගලයාගේ අනන්‍යතාව තමා නොදන්නා බවත්ය.

සිද්ධිය සම්බන්ධයෙන් ගල්කිස්ස ප්‍රදේශයේ පදිංචි 43 හැවිරිදි ගරාජ හිමියාගෙන් ප්‍රකාශ සටහන් කරගෙන ඇති අතර, නුගේගොඩ අධිකරණයට කරුණු වාර්තා කිරීමට නියමිතය.

Facebook
Twitter
LinkedIn

උණුසුම් පුවත්