මෝටර් රථ මිල ලක්ෂ 15 කින් පහළ ගිහින්

මෝටර් රථ මිල ලක්ෂ 15 කින් පහළ ගිහින්

ලියාපදිංචි නොකළ මෝටර් රථ මිල ගණන් රුපියල් ලක්ෂ 05ත් 15ත් අතර අගයකින් මේ වනවිට පහත වැටී ඇති බව ලංකා වාහන ආනයනකරුවන්ගේ සංගමයේ සභාපති ඉන්දික සම්පත් මෙරෙන්චිගේ පවසයි.

ඊට සමගාමීව, ලියාපදිංචි කරන ලද (පාවිච්චි කළ) වාහනවල මිල ගණන්ද සැලකිය යුතු මට්ටමකින් අඩු වෙමින් පවතින බව ඔහු පෙන්වා දෙයි.

මෙතෙක් පැවති අධික ඉල්ලුම හේතුවෙන් පාවිච්චි කළ වාහන, ඒවායේ නියමිත වටිනාකමට වඩා ඉහළ මිලකට අලෙවි වූ බවත්, ඉදිරියේදී එම මිල තවදුරටත් පහත යනු ඇති බවත් ඔහු පවසයි.

මෙරටට වාහන ගෙන්වීම නතර කර වසර පහක පමණ කාලයකට පසුව, මෙම වසරේ පෙබරවාරි මස පළමුවැනිදා සිට වාහන ආනයන සීමා ලිහිල් කළ අතර ඒ සමඟ මෙරටට වාහන විශාල ප්‍රමාණයක් ගෙන්වීම ආරම්භ විය.

වසර පහක කාලයක් පුරා පැවති ඉහළ ඉල්ලුම නිසා, එලෙස ගෙන්වූ වාහන ප්‍රදර්ශනාගාර වෙත ළඟා වීමටත් පෙර අලෙවි වූ බව ඉන්දික සම්පත් මෙරෙන්චිගේ පවසයි. කෙසේ වෙතත්, මේ වනවිට ලියාපදිංචි නොකළ (අලුත්) වාහන සඳහා වන ඉල්ලුම අඩු වී තිබේ. ඊට එක් හේතුවක් වී ඇත්තේ, තම පැරණි වාහනය මාරු කර අලුත් වාහනයක් මිලදී ගැනීමට සිටි පුද්ගලයන් එම තීරණය කල් දැමීම බවද ඔහු සඳහන් කරයි.

ශ්‍රී ලංකා මහ බැංකු දත්ත වාර්තාවලට අනුව, මෙම වසරේ පළමු මාස 8 තුළ මෙරට වාහන ආනයනය සඳහා දැරූ වියදම ඇමරිකානු ඩොලර් මිලියන 918කි. ඉන් වැඩිම ආනයන වියදමක් අගෝස්තු මාසයේදී වාර්තා වී තිබේ. තවද, ශ්‍රී ලංකා රේගු දත්ත පෙන්වා දෙන්නේ වසරේ පළමු මාස 09 තුළ ඩොලර් මිලියන 911ක් වටිනා වාහන 154,537ක් නිදහස් කර ඇති බවයි. එම සංඛ්‍යාවට යතුරුපැදි 98,923ක් සහ මෝටර් රථ 40,323ක් ඇතුළත් වන බව සඳහන් වේ.

Facebook
Twitter
LinkedIn

උණුසුම් පුවත්