බැකෝ සමන්ට අයත් සුඛෝපබෝගී බස් රථ දෙකක් පොලිස් භාරයට

බැකෝ සමන්ට අයත් සුඛෝපබෝගී බස් රථ දෙකක් පොලිස් භාරයට

කෙහෙල් බද්දර පද්මේ ඇතුළු පිරිස සමග ඉන්දුනීසියාවේ සිට මෙරටට රැගෙන ආ සංවිධානාත්මක අපරාධ කල්ලි සාමාජිකයන් අතර සිටි බැකෝ සමන්ට අයත් රුපියල් කෝටි 08කට අධික වටිනාකමකින් යුත් සුඛෝපභෝගී බස් රථ 02ක් සිය භාරයට ගැනීමට බස්නාහිර උතුර අපරාධ කොට්ඨාසය කටයුතු කර ඇත.

ඉන් එක් බස් රථයක් කටුනායක පිහිටි විදේශිකයින් හට ප්‍රවාහන පහසුකම් සපයන ආයතනයකට ලබාදී ඇති අතර එහි වටිනාකම රුපියල් කෝටි 05කට අධික බව පැවසේ.

එමෙන්ම රුපියල් කෝටි 2.5ක් පමණ වටිනාකමින් යුත් අනෙක් බස් රථය මොනරාගල – කොළඹ අතර මගී ප්‍රවාහනය සඳහා යොදවා තිබී ඇත.

මෙහි එක් බස් රථයක් බැකෝ සමන් අත්අඩංගුවට ගැනීමට සති දෙයකට පෙර මිලදී ගෙන ඇති බව අනාවරණය වී තිබේ.

එමෙන්ම එම බස් රථ දෙක වෙනත් අයගේ නම් යොදාගෙන මිලදීගන ඇති බවත් පොලිස් විමර්ශනවලදී අනාවරණය වී ඇත.

කෙසේ වෙතත් පොලිසිය සිදුකළ ප්‍රශ්න කිරීම්වලදී අදාළ බස් රථ තමාට අයත් බවට බැකෝ සමන් පිළිගෙන තිබේ.

මේ සම්බන්ධයෙන් වැඩිදුර විමර්ශන බස්නාහිර උතුර අපරාධ කොට්ඨාසයේ අධ්‍යක්ෂ සහකාර පොලිස් අධිකාරී රොහාන් ඕලුගල සහ එහි ස්ථානාධිපති ප්‍රධාන පොලිස් පරීක්ෂක ලින්ටන් සිල්වාගේ මූලිකත්වයෙන් ක්‍රියාත්මකය.

Facebook
Twitter
LinkedIn