වැඩිම නිවාස ප්‍රමාණයක් එක් වසරක් තුළ ආරම්භ කරන්නේ මේ 2025 වසරේදීයි – සමන්ත විද්‍යාරත්න

වැඩිම නිවාස ප්‍රමාණයක් එක් වසරක් තුළ ආරම්භ කරන්නේ මේ 2025 වසරේදීයි – සමන්ත විද්‍යාරත්න

ඉතිහාසයේ වැඩිම නිවාස ප්‍රමාණයක් එක් වසරක් තුළ ආරම්භ කරන්නේ මේ 2025 වසරේදී බව වැවිලි සහ ප්‍රජා යටිතල පහසුකම් අමාත්‍ය සමන්ත විද්‍යාරත්න සඳහන් කරයි.

ඔහු මේ බව සඳහන් කළේ ජනාධිපති අනුර දිසානායක සහ ශ්‍රී ලංකාවේ ඉන්දියානු මහකොමසාරිස් සන්තෝෂ් ජා ඇතුළු මැති ඇමතිවරුන්ගේ ප්‍රධානත්වයෙන් ඊයේ (12) පෙරවරුවේ බණ්ඩාරවෙල මහජන ක්‍රීඩාංගණයේදි පැවති මලෛයගම් ජනතාවට නිවාස හිමිකම්පත් ලබා දීමේ අවස්ථාවට එක් වෙමිනි.

එහිදී වැඩිදුරටත් අදහස් දැක්වූ වැවිලි සහ ප්‍රජා යටිතල පහසුකම් අමාත්‍ය සමන්ත විද්‍යාරත්න,

“මලෛයගම් ජනතාව මේ රටේ ආර්ථිකයට විශාල ශක්තියක් ලබා දුන්නා. ඔවුන් අපේ රටට ඩොලර් උපයා දුන්නා. අපේ රටේ තේ කර්මාන්තය ගතහොත්, මෙයට රබර්ද එක් විය යුතුයි. සාමාන්‍යයෙන් වසරකට, මේ වන විටත් තේ සහ රබර්වලින් ඩොලර් බිලියන දෙකක් පමණ ජාතික ආර්ථිකයට එක් කෙරෙනවා. ඒ අන්දමින් උපයාගත් ඩොලර්වලින් මේ රටේ යම් යම් ප්‍රශ්න විසඳුවත් මේ ක්ෂේත්‍රයේ නිරත පිරිසගේ ප්‍රශ්න විසඳී නැහැ.

ඒ අනුව මේ වන විට ඉතිහාසයේ වැඩිම නිවාස ප්‍රමාණයක් එක් වසරක් තුළ ආරම්භ කරන්නේ මේ 2025 වසරේදීයි. නිවාස 2056ක් මේ ප්‍රතිලාභීන්ට ලබා දීමේ වැඩසටහන අපි අද ආරම්භ කරනවා.

ඒ වගේම මේ නිවාස හිමි අයට පර්චස් 10ක තමන්ටම කියලා ඉඩමක හිමිකම අපි ලබා දෙනවා.

මට මතකයි, 2014 වසරේදී හල්දුම්මුල්ල ප්‍රදේශයේ ලයිමක් නාය ගොස් ජීවිත 36ක් අහිමි වුණා. ඒ වගේම 2023 වසරේ පුනාගල, කබරගල පවුල් 50ක් අනාථ වෙලා තවමත් වහලා දාපු තේ කර්මාන්ත ශාලාවක අනාථ කඳවුරක ජීවත් වෙනවා. ඒ පවුල් 50 වෙනුවෙන් ජනතා බදු මුදලෙන් ඉදිකරන ගෙවල් 50ක ඉදිකිරීම් කටයුතු මේ වනවිට අවසන් අදියරේ පවතිනවා.” යනුවෙන් පැවසීය.

මෙම අවස්ථාවට වැවිලි සහ ප්‍රජා යටිතල පහසුකම් නියෝජ්‍ය ඇමති සුන්දරලිංගම් ප්‍රදීප්, වැවිලි සහ ප්‍රජා යටිතල පහසුකම් අමාත්‍යංශයේ ලේකම් ප්‍රභාත් චන්ද්‍ර කීර්ති යන මහත්වරුද මෙහිදී අදහස් දැක්වූහ.

ධීවර, ජලජ සහ සාගර සම්පත් ඇමති රාමලිංගම් චන්ද්‍රසේකර්, සංචාරක කටයුතු නියෝජ්‍ය ඇමති රුවන් රණසිංහ, තරුණ කටයුතු නියෝජ්‍ය ඇමති දිනිදු සමන් හෙන්නායක, ඌව පළාත් ආණ්ඩුකාර නීතිඥ කපිල ජයසේකර, සබරගමුව පළාත් ආණ්ඩුකාර චම්පා ජානකී රාජරත්න ඇතුළු මහජන නියෝජිතයෝද, රාජ්‍ය නිලධාරිහූ ඇතුළු පිරිසක් මෙම අවස්ථාවට එක්ව සිටියහ.

Facebook
Twitter
LinkedIn