අනුර යාපාට එරෙහි නඩුවක අධිචෝදනා ගොනුකරයි

අනුර යාපාට එරෙහි නඩුවක අධිචෝදනා ගොනුකරයි

මහින්ද රාජපක්ෂ පාලන සමයේ ඛනිජ තෙල් විෂය භාර ඇමති ලෙස කටයුතු කළ අනුර ප්‍රියදර්ශන යාපා, ඔහුගේ පෞද්ගලික ලේකම් ලෙස කටයුතු කළ ඔහුගේ බිරිඳ ඇතුළු විත්තිකරුවන් පිරිසකට එරෙහිව කොළඹ මහාධිකරණය හමුවේ අධිචෝදනා ගොනු කර ඇති බව අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව විසින් කොළඹ මහේස්ත්‍රාත් අධිකරණයට දැනුම් දී ඇත.

ඒ ඊට අදාළ නඩුව ඊයේ (02) කොළඹ අතිරේක මහේස්ත්‍රාත් ලියන් වරුසවිතාන ඉදිරියේ කැඳවූ අවස්ථාවේදීය.

නොතීසි ලැබුණු විට මහාධිකරණය හමුවේ පෙනී සිටින ලෙස මහේස්ත්‍රාත් ලියන් වරුසවිතාන විසින් විත්තිකරුවන්ට නියම කර ඇති අතර, ඉන්පසුව, නඩු කටයුතු අවසන් කිරීමට නියෝග කර තිබේ.

මහින්ද රාජපක්ෂ පාලන සමයේ ඛනිජ තෙල් විෂය භාර ඇමති ලෙස කටයුතු කළ අනුර ප්‍රියදර්ශන යාපාට චෝදනා එල්ල වී ඇත්තේ 2014 වසරේ දෙසැම්බර් මාසයේදී, ගංවතුර තත්වයක් නොමැති අවස්ථාවක එවකට පැවති මැතිවරණය ඉලක්කකර ගංවතුර ආධාර සපයන බව සඳහන් කරමින්, නීති විරෝධී ලෙස ඛනිජ තෙල් නීතිගත සංස්ථාවට අයත් රුපියල් ලක්ෂ 61කට අධික මුදලක් වැය කිරීම තුළින් රජයේ මුදල් සාවද්‍ය පරිහරණය කිරීම යන කරුණ සම්බන්ධයෙනි.

Facebook
Twitter
LinkedIn

උණුසුම් පුවත්