ඇසළ පුර පසලොස්වක පොහොය අදයි

ඇසළ පුර පසලොස්වක පොහොය අදයි

ඇසළ පුර පසලොස්වක පොහොය දිනය අදට (10) යෙදී තිබේ.

ඇසළ පොහොය දින බෞද්ධ ජනතාවට අතිශය වැදගත් වෙන සිදුවීම් රැසක් පිළිබඳව ශාසන ඉතිහාසයේ සඳහන් වන අතර ලොව පුරා ලක්ෂ සංඛ්‍යාත බෞද්ධ ජනතාවට බෞද්ධ දර්ශනය හිමි වූයේද අද වැනි දිනකය.

බෝසතාණන් වහන්සේ මහාමායා දේවියගේ කුස තුළ පිළිසිඳ ගැනීම, සිදුහත් කුමරු ගිහි ගෙය හැර මහණදම් පිරීම සඳහා පිටත් වීම, සිදුහත් කුමරුගේ පුතණුවන් වන රාහුල කුමාරයා ඉපදීම ආදිය එම වැදගත් සිදුවීම් අතර වේ.

වෙසක් පුර පසලොස්වක පෝය දිනයේදී ලොව්තුරා බුද්ධත්වය ලැබූ ගෞතම බුදුරජාණන් වහන්සේ සිය ප්‍රථම ධර්ම දේශනාව වන දම්සක් පැවතුම් සූත්‍රය බරණැස ඉසිපතන මිගදායේදී පස්වග මහණුන්ට දේශනා කරන ලැබුවේද ඇසළ පුරපෝය දිනයේදීය. ඇසළ මාසය උදාවන විට පෙර වස් විසීම පිළිබඳව බුදුරජාණන් වහන්සේ භික්ෂූන් වහන්සේලාට දේශනා කර තිබේ.

ඒ අනුව ඇසළ පොහෝදා පදනම් කරගෙන පෙර වස් විසීමද ශාසනික වශයෙන් ඉතා වැදගත් සිදුවීමකි.

බුදුරජාණන් වහන්සේ එවකට භාරතයේ විසූ මානාධික තීර්ථකයින්ගේ මානය බිඳ හෙළීමද සිදු කර ඇත්තේද මෙම පොහොය දිනයේදී බව බෞද්ධ ඉතිහාසයේ සඳහන් වේ.

බුද්ධ පරිනිර්වාණයෙන් පසු ප්‍රථම ධර්ම සංගායනාව පැවැත්වීම ලංකාවේ කිත්සිරි මෙවන් රජදවස කලිඟු රට සිට හේම මාලා කුමරිය සහ දන්ත කුමරුන් ලක්දිවට උතුම් ශ්‍රී දළදා වහන්සේ වැඩම කරවීමද සිදුකර ඇත්තේ මෙම පෝය දිනයේදීය.

එතැන් පටන් ඇසළ පෝය මුල් කරගෙන ශ්‍රී දළදා පෙරහැර පැවැත්වීමද චාරිත්‍රානුකූලව සිදු කෙරේ.

බුද්ධ වර්ෂ 382 දී දුටුගැමුණු රජතුමා රුවන්වැලි මහා සෑය ඉදිකිරීම පිණිස මුල්ගල තබා ඇත්තේ ද අද වැනි දිනකය.

Facebook
Twitter
LinkedIn