WFDY උපසභාපති ධුරය මෙවරත් SSU එකට

WFDY උපසභාපති ධුරය මෙවරත් SSU එකට

ලෝක ප්‍රජාතන්ත්‍රවාදී තරුණ සම්මේලනයේ (WFDY) උප සභාපති ධුරය සඳහා ජනතා විමුක්ති පෙරමුණේ ශිෂ්‍ය සංගමය වන සමාජවාදී ශිෂ්‍ය සංගමයේ මහේල අමරසූරිය තේරීපත් වී තිබේ.

මෙම මැයි මස 20 සිට 26 දක්වා නැමීබියාවේ පැවැත්වෙන ලෝක ප්‍රජාතන්ත්‍රවාදී තරුණ සම්මේලනයේ 21 වෙනි මහ සභා රැස්වීමේදී මෙම පත්කිරීම සිදුව ඇත.

එහිදී මැයි මස 21 දින පැවති ආසියා – පැසිෆික් කලාපීය රැස්වීමේදී සමාජවාදී ශිෂ්‍ය සංගමය මහා මණ්ඩලය සඳහා තේරී පත්වූ අතර, ඉන් අනතුරුව මැයි මස 24 දින පැවති මහාමණ්ඩල රැස්වීමේදී සංවිධානයේ උප සභාපති ධුරය සඳහා වැඩි ඡන්දයෙන් සමාජවාදී ශිෂ්‍ය සංගමය තේරීපත්ව ඇත.

ලෝක ප්‍රජාතන්ත්‍රවාදී තරුණ සම්මේලනය 1945දී ආරම්භ වූ ලොව විශාලතම අධිරාජ්‍යය විරෝධී තරුණ සහ ශිෂ්‍ය සංවිධානය වේ. ලොවපුරා රටවල් ගණනාවක් නියෝජනය කරමින් සංවිධාන 152ක් මේ වනවිට එහි පූර්ණ සාමාජිකත්වය දරනු ලබයි.

මෙම මහ සභා රැස්වීම සඳහා සමාජවාදී ශිෂ්‍ය සංගමය නියෝජනය කරමින් එහි ජාතික සංවිධායක රංගන දේවප්‍රිය, ජාතික කමිටු සාමාජික මහේල අමරසූරිය සහ සමාජවාදී තරුණ සංගමයේ ජාත්‍යන්තර කටයුතු ලේකම් අංජන අමරසිංහ සම්බන්ධ වූහ.

Facebook
Twitter
LinkedIn