ලංකා විදුලිබල මණ්ඩලය විසින් පාරිභෝගිකයින් වෙත විදුලි සම්බන්ධතා ලබාදීමේදී අය කරනු ලබන තැන්පතු මුදල සඳහා වාර්ෂික පොලී ලබාදීමට පියවර ගන්නා ලෙස ශ්‍රේෂ්ඨාධිකරණය විසින් එම මණ්ඩලයට අද (28) නියෝග කර තිබේ.
ඒ, ඉකුත් වසරේ ජනවාරි මස 30 වනදා ලංකා විදුලිබල මණ්ඩලය අධිකරණය හමුවේ මෝසමක් ගොනු කරමින් 2023 වසරේ ජනවාරි මස 01 වනදා සිට 2023 වසරේ දෙසැම්බර් මස 31 වනදා දක්වා කාලසීමාව සඳහා ශ්‍රී ලංකා මහ බැංකුව විසින් අනුමත කර ඇති 11.67%ක වාර්ෂික පොලිය ගෘහස්ථ පාරිභෝගිකයන්ට මෙන්ම සෙසු ගනුදෙනුකරුවන්ට ගෙවීමට තීරණය කර ඇති බවත් ඒ සඳහා මහජන උපයෝගීතා කොමිසමේ අනුමැතිය ලැබී තිබෙන බවත් සඳහන් කරමින් කර තිබූ දැනුම්දීමට අනුවට.
එම පෙත්සම විදුලි බල හා පුනර්ජනනීය පාරිභෝගික සංගමය විසින් ගොනු කර තිබිණි.
එය අද (28) එස්. තුරෙයි රාජා, සෝභිත රාජකරුණ සහ මේනකා විජේසුන්දර යන ත්‍රිපුද්ගල ශ්‍රේෂ්ඨාධිකරණ විනිසුරු මඩුල්ල විසින් කැඳවා තිබිණි.
පෙත්සම්කාර පාර්ශ්වය වෙනුවෙන් පෙනී සිටි නීතිඥ රවින්ද්‍රනාත් දාබරේ අධිකරණය හමුවේ කරුණු දක්වමින් සඳහන් කර තිබුණේ විදුලි බල පනතේ 28(2) වගන්තිය යටතේ විදුලි සම්බන්ධතා ලබා දීමේදී පාරිභෝගිකයින්ගෙන් අය කරගන්නා තැන්පතු මුදල වෙනුවෙන් වාර්ෂිකව පොලියක් ගෙවීමට ලංකා විදුලිබල මණ්ඩලය බැඳි සිටින බවය.
මෙම නඩු කරය අද කැඳවනු ලැබූ අවස්ථාවේදී විනිසුරු මඩුල්ල විසින් ලංකා විදුලි බල මණ්ඩලයට නියම කර ඇත්තේ මෙම මෝසම තුළින් එකඟ වී තිබෙන පරිදි කටයුතු කරමින් ගෘහස්ථ පාරිභෝගිකයන්ට මෙන්ම විශාල වශයෙන් විදුලිය භාවිත කරන පාර්ශවයන්ටත් ශ්‍රී ලංකාව මහා බැංකුව විසින් නිර්ණය කරනු ලබන පොලී අනුපාතිකයන් යටතේ වාර්ෂික පොලී ගෙවීමට කටයුතු කරන ලෙසය.










