ශක්තිමත් පාලනයක් තුළින් රට ගොඩගැනීමේ වැඩපිළිවෙළට දායක වෙමු – විශ්‍රාමික ලුතිනන් සංජීවනී විජේවන්ත

ශක්තිමත් පාලනයක් තුළින් රට ගොඩගැනීමේ වැඩපිළිවෙළට දායක වෙමු – විශ්‍රාමික ලුතිනන් සංජීවනී විජේවන්ත

ශක්තිමත් පාලනයක් තුළින් රට ගොඩගැනීමේ වැඩපිළිවෙළට දායක වෙමු යැයි ජාතික ජන බලවේගයේ දිස්ත්‍රික් විධායක සභික විශ්‍රාමික ලුතිනන් සංජීවනී විජේවන්ත ජනතාවට ආරාධනා කර සිටී.

ඇය මෙලෙස ආරාධනා කරන්නේ ඊයේ (09) අනුරාධපුර මහජන ක්‍රීඩාංගණයේ පැවති ජාතික ජන බලවේගයේ අනුරාධපුර දිස්ත්‍රික් අපේක්ෂක් කණ්ඩායමේ ජය තහවුරු කිරීමේ ජන හමුව අමතමිණි.

එහිදී වැඩිදුරටත් අදහස් දැක්වූ ජාතික ජන බලවේගයේ දිස්ත්‍රික් විධායක සභික විශ්‍රාමික ලුතිනන් සංජීවනී විජේවන්ත,

“අපි දේශපාලන වෙනසක් ඇති කිරීමට එක මෙහෙයුමක් අවසන් කරලා, දෙවෙනි මෙහෙයුම සඳහා සූදානම් වෙමින් ඉන්නවා. මේක අපේ රටේ සැබෑ පුනරුදයක්, නව දේශපාලන සංස්කෘතියක් ඇති කරමින් සතුටින් ජීවත් වෙන්නට රටක් හදන්නට මුල පුරමින් තිබෙන අවස්ථාවක්. ජාතික ජන බලවේගය කාන්තා අපි වෙනුවෙන් කතා කරන්නට, බිමේ සිටින ඔබ වෙනුවෙන් පෙනී සිටින්නට, අපේක්ෂිකාවක් විදිහට ඔබ සියලු දෙනා නියෝජනය කරන්නට අනුරාධපුර දිස්ත්‍රික්කය වෙනුවෙන් මා හට වගකීම පවරා තිබෙනවා. මේ රජරට ඉන්න කාන්තාව තම ස්වාමියා සමග එකතු වී මහපොළොවත් එක්ක පොරබදමින්, තම ජීවිතය සාර්ථක කර ගන්න උත්සාහ ගන්නවා. ඒ වගේම විවිධ කම්කටොලුවලින්, ගැටලුවලින් පීඩා විඳිනවා. මෙතෙක් දේශපාලනයේ නියැලුණු මහජන නියෝජිතවරියන් අපේ ගැටලු වෙනුවෙන් පෙනී සිටියේ නැහැ. ඒ කාන්තාවන් පිය උරුමය නිසා හෝ පවුල් උරුමය නිසා දේශපාලනය කළ අයයි. අපි වගේ අය සාමාන්‍ය පවුල්වලින් ඇවිත් මේ දේශපාලන වේදිකාවේ ඔබ වෙනුවෙන් හඬක් නඟන්නට ඉඩහසර ලබාදීම පිළිබඳව ජාතික ජන බලවේගයට කෘතවේදිත්වය පිරිනමනවා. ඉදිරියේ පවත්වන මහ මැතිවරණයෙන් ශක්තිමත් පාර්ලිමේන්තුවක් නිර්මාණය කරන්නට, රට මුහුණ දෙන ගැටලුකාරී අවස්ථාවල පෙරමුණ ගන්නවා වගේම කාන්තා අපි සියලු දෙනාම එකතු වෙලා ශක්තිමත් පාලනයක් හදලා මේ රට ගොඩගැනීමට රට ගෙනයන වැඩපිළිවෙළට දායක වෙමු කියන ඉල්ලීම කරනවා.

ලෝකයේ බොහෝ රටවල්වල දරුවෙක් ඉපදෙනකොට දීමනාවක් දෙනවා. අපේ රටේ දරුවෙක් ඉපදෙනකොට ලක්ෂ ගණන් ණය වෙලා ඉපදෙනවා. අපේ දරුවන්ගේ අධ්‍යාපන බර නිදහස් කරලා, ඔවුන්ට සංස්කෘතික මිනිසෙකු ලෙස ගොඩනැගෙන්නට අවශ්‍ය කරන වටපිටාව හදන්න ජාතික ජන බලවේගයේ පාලනයක් ක්‍රියා කරන බවට ඔබ ඉදිරියේ සපථ කරනවා. මම නියෝජනය කරන අදිටන සාමූහිකය සමන්විත වන්නේ තිස් අවුරුදු යුද්ධය අවසන් කළ ඒ වීරෝදාර රණවිරුවන්ගෙනුයි. ඔවුන් තමන්ගේ ජීවිතයේ තරුණ වියෙන් වැඩි කොටසක් කැප කරලා, කොටසක් ආබාධිතයන් බවට පත්වෙලා, දහස් ගණනක් තරුණ ජීවිත පූජා කරලා, මේ රට බේරා දුන්නා. මේ රට මුදා ගන්න බැහැ කියා ලෝකයා කියද්දී, එකා පිට එකා වැටෙමින් මිය යද්දී තම ගමන එකට ගිහින් ජයග්‍රහණය ලබාදුන් මේ රට, දේශපාලකයන් විනාශ කරන්න හදන නිසා තමයි ජාතික ජන බලවේගය වැනි පිරිසිදු දේශපාලනයක් එක්ක එකතු වෙලා මේ ගමන යන්න තීරණය කළේ. නොවැම්බර් 14 දින පවත්වන මහා මැතිවරණයෙන් මේ රටේ ශක්තිමත් ආණ්ඩුවක් හදන්නට අවශ්‍ය පිරිස අපි රජරට පුරවරයෙන් තෝරා පත්කර හරිමු. 58%ක් වූ සහෝදර සහෝදරියන් සියලු දෙනාටම අපිත් එක්ක එකතු වෙන්න කියා ආරාධනා කරනවා. අපි සියලු දෙනාටම තියෙන්නේ එකම අරමුණයි. ඒ සඳහා පෙළගැසෙමු.”

Facebook
Twitter
LinkedIn