අවුරුදු 76ක් රට කාපු අයගේ ගිනි විජ්ජුම්බරවලට අද ජනතාව රැවටෙන්නේ නැතැයි ජාතික ජන බලවේගයේ ජාතික විධායක සභික, කුරුණෑගල දිස්ත්‍රික් කණ්ඩායම් නායක නාමල් කරුණාරත්න අවධාරණය කරයි.
ඔහු මේ බව අවධාරණය කළේ පසුගිය 08 වනදා කුරුණෑගල සත්‍යවාදී පිටියේදී පැවති ජාතික ජන බලවේගයේ කුරුණෑගල දිස්ත්‍රික් අපේක්ෂකයින්ගේ ජය තහවුරු කිරීමේ ජන රැලිය අමතමිණි.
එහිදී වැඩිදුරටත් අදහස් දැක්වූ ජාතික ජන බලවේගයේ ජාතික විධායක සභික, කුරුණෑගල දිස්ත්‍රික් කණ්ඩායම් නායක නාමල් කරුණාරත්න,
“ඇදහැලෙන මහා ධාරානිපාත වර්ෂාව හමුවේත් නොසැලී සිටින ජනතාව මහා මැතිවරණයේ ජයග්‍රහණය පිළිබඳව දැනටමත් තහවුරු කර අවසන්. අපේ විරුද්ධවාදීන් මේ වන විට සහල් මිල ඉහළ යාම ගැන කතා කළත් අපේ ජනාධිපති සහෝදරයා වැඩ බාර ගන්නකොට රජයේ වී ගබඩාවල වී ඇටයක්වත් තිබුණේ නැහැ. මහා පරිමාණ මෝල් හිමියන් ටික දෙනෙක් පොහොට්ටුවෙන් සහ සජබෙන් ඡන්දය ඉල්ලන අතර, ඔවුන් ළඟ වී තොග රැස්කරගෙන තිබෙනවා. එන මහ කන්නයේ අස්වනු නෙලීමේ සිට රජයේ වී ගබඩා පුරවා ගොවියාට සාධාරණ මිලක් ලබාදී පාරිභෝගිකයාට සාධාරණ මිලකට සහල් ලබාදෙන ස්ථාවර ක්‍රියාමාර්ග අනුගමනය කරනවා. කුඩා සහ මධ්‍ය පරිමාණ මෝල් හිමියන් මෙන්ම මහා පරිමාණ මෝල් හිමියන් සියලු දෙනාත් සහල් ව්‍යාපාරය තුළ සිටිය යුතුයි. නමුත් කිසි කෙනෙකුට ජනතාව පීඩාවට පත්කිරීමේ බඩ පිනුම්, හිටි පිනුම් ගහන්න දෙන්නේ නැහැ. ඊට අදාළ සැලසුම් අපි සකස් කර තිබෙනවා. වී නිෂ්පාදන වියදම අඩුකර සහල් නිෂ්පාදන පිරිවැයත් අඩු කරනවා. ඊට පසුව සහල් වෙනුවෙන් පාලන මිලක් නියම කරනවා. ඒ ආකාරයටම එළවළු ගොවියාත්, ළුෑණු ගොවියා වගේම පශු සම්පත් ගොවියා වෙනුවෙනුත් නිසි විද්‍යාත්මක සැලසුම් ක්‍රියාත්මක කරනවා. අපි ඒ වැඩපිළිවෙළ සකස් කරගෙන යන අතරේ සතුරු බලවේග ජනතාව නොමඟ යැවීමේ ප්‍රචාර දියත් කර තිබෙනවා. අපි මේ පටන් ගත්තා විතරයි. අවුරුදු 76ක් රට කාපු අය අපට ඇඟිල්ල දික්කරන්න පටන්ගෙන තිබෙනවා. ඒ ගිනි විජ්ජුම්බරවලට අද ජනතාව රැවටෙන්නේ නැහැ.
කාබාසිනියා කර තිබූ මිල්කෝ ආයතනයට නව සභාපතිවරයෙක් පත්කර ලාභ ලබන්න පටන් ගත්තා පමණක් නොවෙයි, කිරි නිෂ්පාදක ගොවි මහත්වරුන්ට නිසි වෙලාවට මුදල් ගෙවන්නත් කටයුතු කර තිබෙනවා. බංකොලොත් කර විකුණන්න දමා තිබු මිල්කෝ ආයතනය 2004 අනුර සහෝදරයා කෘෂිකර්ම ඇමතිවරයා ලෙසට සිටි කාලයේ ලාභ ලබන්න පටන් ගත්තා. ඒ ලාභවලින් කොටසක් කිරි ගොවියන්ටත් ලබාදුන්නා අන්න ඒ ආකාරයටම වර්තමානයේදී මිල්කෝ ආයතනය ඉන්දියාවේ ‘අමුල්’ සමාගමට විකුණන්න සැලසුම් කර තිබීම පරාජය කර, ලාභ ලබන තත්ත්වයට ගෙනත් තිබෙනවා. ඒ ආකාරයට කෘෂිකාර්මික ක්ෂේත්‍රය සහ පශු සම්පත් ක්ෂේත්‍රයේ විශාල ජයග්‍රහණ ලබා ගන්න දැනටමත් මුල පුරා තිබෙනවා. මේ ආකාරයට රාජ්‍ය සම්පත් කුණු කොල්ලයට විකුණන්න තිබුණු සියලු සැලසුම් නවත්වා ජනතාවගේ ජයග්‍රහණය වෙනුවෙන් යොදවා ගන්න ක්‍රියාකරනවා. ඒ වෙනුවෙන් සුවිශේෂී අපේක්ෂක කණ්ඩායමක් කුරුණෑගල දිස්ත්‍රික්කය වෙනුවෙන් මහ මැතිවරණයට මාලිමාව යටතේ ඉදිරිපත් කර සිටිනවා. කුරුණෑගල දිස්ත්‍රික්කයෙන් මේ කවුරු යැව්වත් ජනතාව වෙනුවෙන් කැපවී ක්‍රියා කරනවා. මහ මැතිවරණයෙන් මාලිමාවේ වැඩිම පිරිසක් පාර්ලිමේන්තුවට යවන්න එක්වන ලෙස සියලුම ජනතාවගෙන් ඉල්ලා සිටිනවා.”















