පසුගිය වසර අවසන් වන විට ලබාගෙන තිබූ සමස්ත රාජ්‍ය ණය ප්‍රමාණය රුපියල් බිලියන 29,150ක් වන අතර, ඒ අනුව සිව් දෙනකුගෙන් යුත් එක් පවුලක් මත ආසන්න වශයෙන් රුපියල් ලක්‍ෂ 53ක ණය බරක් පැටවී තිබේ.
මේ සම්බන්ධයෙන් විශේෂ විශ්ලේෂණයක යෙදෙන පේරාදෙණිය විශ්වවිද්‍යාලයේ ආර්ථික විද්‍යා අධ්‍යයන අංශයේ මහාචාර්ය වසන්ත අතුකෝරල එම ණය පොළාපනිමින්, වැඩි වූ ආකාරය හෙළි කර ඇත. ‘ඉරිදා ලංකාදීප’ පුවත් පත මහාචාර්යවරයා උපුටා ගනිමින්, මෙම ණය බර පිළිබඳව දත්ත ඉදිරිපත් කර තිබේ. මහ බැංකු වාර්තාවක් අනුව පවුලක එම ණය ප්‍රමාණය රුපියල් 48,19,256ක් බව එම පුවත් පතේ දක්වා ඇත.
එහෙත්, මුදල් අමාත්‍යාංශ වාර්ෂික වාර්තාවට එක් කර තිබෙන විගණකාධිපතිවරයාගේ වාර්තාවෙහි දැක්වෙන්නේ සමස්ත ණය බර රුපියල් බිලියන 29,150ක් වී ඇති බවයි. ඒ අනුව එක් පුද්ගලයකු මත පැටවී තිබෙන දළ ණය ප්‍රමාණය රුපියල් 13,25,000කි. කෙසේ වෙතත්, මහාචාර්යවරයා පෙන්වා දී තිබෙන්නේ 2019 වර්ෂයේ දී එක් පවුලක් මත පැටවී තිබූ ණය ප්‍රමාණය රුපියල් 22,11,471ක් බව ය. එය මේ වනවිට රුපියල් 48,19,256ක් දක්වා වසර කිහිපයක් තුළ රුපියල් 26,06,563කින් ඉහළ ගොස් ඇති බව පෙන්වා දී තිබේ.










