අනාගත පරපුරට යහපත් රටක් ගොඩනගාදීමේ වගකීම් ඉටුකරන්න අපි සියලු දෙනා බැඳී සිටිනවා යැයි ජාතික ජන බලවේගයේ ජාතික විධායක සභික ආනන්ද විජේපාල අවධාරණය කරයි.
ඔහු මේ බව අවධාරණය කළේ පසුගිය 08 වනදා කුරුණෑගල සත්‍යවාදී පිටියේදී පැවති ජාතික ජන බලවේගයේ කුරුණෑගල දිස්ත්‍රික් අපේක්ෂකයින්ගේ ජය තහවුරු කිරීමේ ජන රැලිය අමතමිණි.
එහිදී වැඩිදුරටත් අදහස් දැක්වූ ජාතික ජන බලවේගයේ ජාතික විධායක සභික ආනන්ද විජේපාල,
“දීර්ඝ කාලයක් අපේ රටේ ගොවියා, ධීවරයා, කම්කරුවා, වෘත්තිකයා ආදී වශයෙන් මෙන්ම තරුණ සහ කාන්තාවන් වශයෙන් නොසැලෙන වීර්යයෙන් යුතු මේ දේශපාලන ව්‍යාපාරය වෙනුවෙන් කැපවීම් කළා. එහි ප්‍රතිඵලයක් ලෙස ගොවි පවුලක පුතෙකු අපේ ජනාධිපති ලෙස පත්කර ගන්න හැකි වුණා. මේ රටේ දැවැන්ත දේශපාලන සමාජ ආර්ථික පරිවර්තනයක් වෙනුවෙන් දැන් මුල පුරා තිබෙනවා. අපි ඔබට ලබාදෙන්නේ පොරොන්දු නොවෙයි. අපි පවරා ගත් වගකීම් පිළිබඳව ප්‍රතිපත්ති පමණයි. මැතිවරණයට ඉදිරිපත් වී සිටින්නේ ඒ වගකීම් දැරීම වෙනුවෙන් නියෝජිතයන් තෝරා ගැනීමේ ක්‍රමයක් හැටියටයි. අපේ අනාගත පරපුරට යහපත් රටක් ගොඩනගාදීමේ ක්‍රියාමාර්ග වෙනුවෙන් වගකීම් ඉටකරන්න මේ සියලු දෙනා බැඳී සිටිනවා. දුප්පත්කමේ පතුලේ ඉන්න ජනතාව මේ රටේ අභිමානවත් පුරවැසියන් හැටියට දෙපයින් නැගී සිටින දවස වැඩි ඈතක නොවෙයි.
ලබන ජනවාරි මාසයෙන් පසුව පාසලට ඇතුල්වෙන කිසිදු දරුවෙකුට අධ්‍යාපනයෙන් පිටමං නොවන වැඩපිළිවෙළක් අපි ක්‍රියාත්මක කරනවා. ජාතික ජන බලවේගයේ ආණ්ඩුවක මූලික වගකීම ලෙස සෑම දරුවෙකුගේම අධ්‍යාපන අයිතිය තහවුරු කරනවා. කුරුණෑගල දිස්ත්‍රික්කයේ සමස්ත ජනතාවගෙන් 80%ක් දෙනා නියැලී සිටින කෘෂිකර්මාන්තය ලාභදායී තත්වයකට ගෙනැවිත් රටේ ජනතාව වෙත ගුණාත්මක ආහාර ලබාදීම සහතික කරනවා. දූෂිතයන් සහ මූල්‍ය අපාරධකරුවන් පැහැරගත් ජනතාවගේ සෑම රුපියලක්ම ආපසු අයකර ගැනීම වෙනුවෙන් දැනටමත් ක්‍රියාමාර්ග ආරම්භ කර තිබෙනවා. අවසාන වශයෙන් සිංහල, දෙමළ, මුස්ලිම් සියලුම ජනතාව නියෝජනය කරන ශ්‍රී ලාංකේය ජාතිය ගොඩනැගීම අපේ පාලනය තුළ යථාර්ථයක් බවට පත්කරනවා ඒ වෙනුවෙන් රටට ජයග්‍රහණ ගෙන එන පාර්ලිමේන්තු බහුතර බලයක් ලබාදෙන ලෙස ඉල්ලා සිටිනවා.”















