හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂගේ පුත් යෝෂිත රාජපක්ෂට සහ හිටපු නාවික හමුදාපති වසන්ත කරන්නාගොඩට එරෙහිව අල්ලස් හෝ දූෂණ චෝදනා විමර්ශන කොමිෂන් සභාව මඟින් ගොනු කර ඇති දූෂන චෝදනා නඩුව ලබන 29 වැනිදා යළි කැඳවීමට කොළඹ මහාධිකරණය නියෝග කර තිබේ.
මෙම නඩුව අද (13) මහාධිකරණය හමුවේ කැඳවනු ලැබූ අවස්ථාවේදී ඇප මත සිටින විත්තිකරුවන් වන වසන්ත කරන්නාගොඩ සහ යෝෂිත රාජපක්ෂ අධිකරණය හමුවේ පෙනී සිට ඇත.
නඩුව ලබන 29 වැනිදා යළි කැඳවීමට නියෝග කළ කොළඹ මහාධිකරණ විනිසුරු රශාන්ත ගොඩවෙල, එදිනට අධිකරණයේ පෙනී සිටින ලෙසට විත්තිකරුවන්ට වැඩිදුරටත් නියෝග කර තිබේ.
අල්ලස් හෝ දූෂණ චෝදනා විමර්ශන කොමිෂන් සභාව විසින් මොවුන් දෙදෙනාට දූෂණ චෝදනා යටතේ අධිචෝදනා ගොනු කර ඇත්තේ, 2006 වසරේ සැප්තැම්බර් මස 01 වැනිදා සහ 2007 වසරේ ජූනි මස 08 වැනිදා අතර කාලසීමාව තුළ ශ්‍රී ලංකා නාවික හමුදාපති ලෙස කටයුතු කරමින් යෝෂිත රාජපක්ෂ නැමැති විත්තිකරුට අයුතු සහගත ලෙස බ්‍රිතාන්‍යයේ රාජකීය නාවික හමුදා පුහුණු විද්‍යාලයේ `Royal Navy Young Officers Course’ පාඨමාලාව සඳහා සහභාගී වීමට අවස්ථාව සලසා දෙමින් රජයට පාඩුවක් සිදු කිරීම සම්බන්ධයෙනි.









