ශ්‍රී ලංකාවේ දකුණු කොරියානු තානාපතිනි මියොන් ලී (Miyon Lee) අද (09) පෙරවරුවේ ජනාධිපති කාර්යාලයේ දී ජනාධිපති අනුර කුමාර දිසානායක හමුවී තිබේ.
මෙහිදී තානාපතිනි මියොන් ලී මහත්මිය විසින් ජනාධිපති අනුර කුමාර දිසානායකගේ ජනාධිපතිවරණ ජයග්‍රහණය වෙනුවෙන් සුබපැතුම් පළ කරනු ලැබ ඇති අතර දකුණු කොරියානු රජයේ සුබ පැතුම්ද පිළිගන්වා ඇත.
ශ්‍රී ලංකාව හා දකුණු කොරියාව අතර ද්විපාර්ශ්වික සබඳතා ශක්තිමත් කර ගැනීම සඳහා දකුණු කොරියාවේ කැපවීම තානාපතිනි මියොන් ලී මහත්මිය විසින් මෙහිදී තහවුරු කරනු ලැබ ඇති අතර දෙරට අතර දිගුකාලීන සබඳතා පිළිබඳවද මෙහිදී සිහිපත් කර තිබේ. ශ්‍රී ලංකාවට විදේශ ප්‍රේෂණ ලබා දීමේදී දකුණු කොරියාව හයවැනි ස්ථානයේ සිටින බව සඳහන් කර ඇති තානාපතිවරිය, දකුණු කොරියාවේ සිටින ශ්‍රී ලාංකිකයන් සඳහා වැඩි රැකියා අවස්ථා නිර්මාණය කරමින් එම ප්‍රේෂණ ඉහළ නැංවීම සඳහා කටයුතු කරන බවට මෙහිදී පොරොන්දු වී ඇත. මීට අමතරව, කොරියානු සංචාරකයින් අතර සංචාරය කිරීම සඳහා ආකර්ශනීය රටක් ලෙස ශ්‍රී ලංකාව ප්‍රවර්ධනය කිරීමට කටයුතු කරන බවද සඳහන් කර තිබේ.
ශ්‍රී ලංකාව සඳහා ආර්ථික වශයෙන් සහය ලබාදීම පිළිබඳවද සහතික වී ඇති තානාපතිවරිය, දකුණු කොරියාවද මීට පෙර අවස්ථාවලදී මෙවැනිම ආර්ථික අභියෝගවලට මුහුණ දුන් බවත් ඒවා ජයගැනීමේ දී කොරියාව ලැබූ අත්දැකීම් ශ්‍රී ලංකාවටද උපයෝගී කරගත හැකි බවත් ප්‍රකාශ කර ඇත. කොරියානු එක්සිම් බැංකුවේ ආයෝජන සංවර්ධනයේ ප්‍රධාන අංගයක් ලෙස සලකමින් ශ්‍රී ලංකාවේ ග්‍රාමීය දිළිදු බව තුරන් කිරීම පිළිබඳවද මෙහිදී සාකච්ඡා කර ඇත.
තවද, සෞඛ්‍ය ආරක්ෂණය, දූෂණ විරෝධී ක්‍රියාමාර්ග සහ දේශගුණික විපර්යාස අවම කිරීම යන ක්ෂේත්‍රයන් සඳහා කොරියානු සහයෝගය ලබා දීමටද දකුණු කොරියානු තානාපතිනි මියොන් ලී සහතික වී තිබේ. දකුණු කොරියාවේ රැකියා අපේක්ෂාවෙන් සිටින ශ්‍රී ලාංකිකයන් වඩාත් හොඳින් ඒ සඳහා සූදානම් කිරීම වෙනුවෙන් ශ්‍රී ලංකාවේ කොරියානු භාෂා අධ්‍යාපනය පුළුල් කිරීම කෙරෙහි වන දකුණු කොරියාවේ කැමැත්තද තානාපති ලී විසින් මෙහිදී තව දුරටත් අවධාරණය කර ඇත.













