ජනතා විමුක්ති පෙරමුණේ දේශපාලන මණ්ඩලය පසුගිය සඳුදා පෙරවරුවේ පැලවත්ත ප‍්‍රධාන කාර්යාලයේදී රැස්විය. එහිදී වර්තමාන දේශපාලන තත්වයන් පිළිබඳව සාකච්ඡාවක් ඇති විය. ප‍්‍රචාරක ලේකම් විජිත හේරත් අන්තර් පාර්ලිමේන්තු සංගමයේ සමුළුවක් සඳහා සහභාගි වීමට විදෙස්ගත වී සිටි නිසා එම හමුවට සහභාගි වූයේ නැත.
මෙහිදී විශේෂ අවධානයක් යොමු වූයේ, ආණ්ඩුව දූෂිතයින් ආරක්ෂා කිරීමට උත්සාහ දැරීම පිළිබඳවය. “රනිල් වික‍්‍රමසිංහට, මෛත‍්‍රීපාල සිරිසේනට බලයට එන්න ප‍්‍රධාන සටන් පාඨය වුණේ දූෂිතයින්ට දඩුවම් දීම. ඒත් මේ ආණ්ඩුව දැන් දූෂිතයින් ආරක්ෂා කරනවා විතරක් නෙවෙයි අලුතෙන් හොරකන් කරන්නත් පටන් අරගෙන.” ප‍්‍රධාන ලේකම් ටිල්වින් සිල්වා ප‍්‍රකාශ කළේය.
“මේ ආණ්ඩුවේම අය කිව්වේ මහ බැංකු බැඳුම්කර වංචාව ගැන කරන පරීක්ෂණ කියන්නේ මේ ආණ්ඩුව ගැන ලිට්මස් පරීක්ෂාවක් කියලා. ඒත් දැන් සිදුවෙමින් තියෙන්නේ ආණ්ඩුවේ අයම එකතු වෙලා මහ බැංකු වංචාව යටගහන්න හදන එක” අනුර දිසානායක කීවේය. “කෝප් එකේ එජාප මන්ත‍්‍රී කණ්ඩායම අර්ජුන් බේරන්න මාරාන්තික සටනක් කරනවා. අපි මාස ගාණක් සාකච්ඡා කරලා හදපු කෙටුම්පත පරක්කු කරන්න තමයි එජාපය උත්සහ කරන්නේ. වංචාව වෙලා දැන් මාස 20ක් ගතවෙලා. ඔක්. 20, 21 සියලුම සාක්ෂි සටහන් නිරීක්ෂණය කරලා අවසන් කෙටුම්පත හදන්න කෝප් කමිටුව තීරණය කළා. ඒත් එජාප මන්ත‍්‍රීන්ට ඕනැ වුණා ඒ අයට ඕන විදියට වාර්තාවක් හදාගන්න. එජාපයේ මන්ත‍්‍රීවරු රෑට රෑට අර්ජුන් මහේන්ද්‍රන් හමුවුණා කියලත් කතාබහක් යනවා.” බිමල් රත්නායක කියා සිටියේය.
“පරණ ආණ්ඩුවේ වගේම මේ ආණ්ඩුවේ දූෂිතයින් රටට හෙළිකරන්න ඕනෑ. ජනතාව අපි ගැන තියපු විශ්වාසය ඒ විදියටම ආරක්ෂා කරන්න අපි බැඳිලා ඉන්නවා. ඒක කෝප් කමිටුවේදීත් පාර්ලිමේන්තුවේදීත් පාරෙදීත් කරන්න අපි කටයුතු කරන්න ඕනෑ” සුනිල් හඳුන්නෙත්ති කීවේය. “දූෂිතයොයි එයාලව රකින අයයි රටට හෙළිකරන්න ඕනෑ. ඒ වෙනුවෙන් අපි ජනතාව දැනුවත් කරන සම්මන්ත‍්‍රණ මාලාවක් ආරම්භ කරමු” ප‍්‍රධාන ලේකම් ටිල්වින් සිල්වා යෝජනා කළ අතර “දූෂිතයින් සහ ආරක්ෂකයින්” මැයෙන් නොවැම්බර් පළවෙනිදා සිට සම්මන්ත‍්‍රණ මාලාවක් පැවැත්වීමට ජවිපෙ නායකයෝ තීරණය කළහ.
මේ අතර කෝප් කමිටුවේ විශේෂ රැස්වීමක් සඳහා සහභාගි වීමට සභාපති සුනිල් හඳුන්නෙත්ති දේශපාලන මණ්ඩල රැස්වීමෙන් පිටව ගියේය. මේ අතර ජවිපෙ නායකයෝ ආණ්ඩුව විසින් ගෙන ඒමට නියමිත වැට් පනත පිළිබඳවද කරුණු සාකච්ඡා කළෝය.










