නේපාලයට කොමියුනිස්ට් ජනාධිපතිනියක්

නේපාලයේ නව ජනාධිපති ලෙස එක්සත් මාක්ස් ලෙනින්වාදී කොමියුනිස්ට් පක්ෂයේ උපසභාපති බිද්‍ය දේවී භාන්ඩාරී මහත්මිය වැඩි ඡන්දයෙන් ඊයේ (28) තේරී පත් වී තිබේ.

එරට පාර්ලිමේන්තුවේ ඡන්ද 549කින් ඡන්ද 327ක් ලබාගනිමින් ඇය ජයග්‍රහනය කර ඇත.

කොමියුනිස්ට් පක්ෂයේ තරුණ සංගමයේ ක්‍රියාකාරිනියක ලෙස ඇය 1978 වසරේදී එක්වී ඇති අතර 1980 වසරේදී කොමියුනිස්ට් පක්ෂයේ සාමාජිකත්වය ලබාගෙන තිබේ.  ශිෂ්‍ය සංගමයේ භාණ්ඩාරික ලෙසද විශ්වවිද්‍යාලයේ කටයුතු කර ඇති ඇය මේ වනවිට සමස්ත නේපාල කාන්තා සම්මේලනයේ සභාපතිනිය ලෙසද කටයුතු කරමින් සිටී.

මාඩාන් භාන්ඩාරි වන ඇගේ සැමියාද එක්සත් මාක්ස් ලෙනින්වාදී කොමියුනිස්ට් පක්ෂයේ ක්‍රියාකාරිකයෙකුව කටයුතු කරමින් සිටියදී 1993 වසරේ සිදු වූ අභිරහස් රිය අනතුරකින් ජීවිත්ක්ෂයට පත්වී ඇත. එය මිනීමැරුමක් බව කොමියුනිස්ට් පක්ෂයේ මතය වී තිබේ.

මේ වනවිට 54වන වියේ පසුවන ඇය මාදව කුමාර් නේපාල් මහතා අගමැති ධුරය හොබවන සමයේ ඔහුගේ කැබිනට් මණ්ඩලයේ ආරක්ෂ ඇමති ධුරයද හොබවා ඇත.

ඇය එරට දෙවන ජනාධිපති වන අතර නේපාලයේ වත්මන් අගමැති ධුරයද හොබවනුයේ එක්සත් මාක්ස් ලෙනින්වාදී කොමියුනිස්ට් පක්ෂය විසිනි. ඒ එම පක්ෂයේ සභාපති කඩීගා ප්‍රසාද් චර්මා ඔලී මහතා විසිනි.

මූලාශ්‍ර

01

02

Facebook
Twitter
LinkedIn