මාව කාටත් එපානම් මම කාටවත් සහය දෙන්නෑ

මාව කාටත් එපානම් මම කාටවත් සහය දෙන්නෑ

මෙවර පැවැත්වෙන ජනාධිපතිවරණය සඳහා ඉදිරිපත් වී සිටින කිසිදු අපේක්ෂකයෙකුට සහයෝගය ලබා නොදෙන බව පවසමින් හිටපු ජනාධිපති පාර්ලිමේන්තු මන්ත්‍රී මෛත්‍රිපාල සිරිසේන නිවේදනයක් නිකුත් කර තිබේ.

ඇතැම් මාධ්‍ය හා ආණ්ඩුවේ සහ විපක්ෂයේ දේශපාලනඥයින් තමා පිළිබඳව කරන ප්‍රකාශවල කිසිදු සත්‍යයක් නොමැති බවද එහි සඳහන් කර ඇත.

ශ්‍රී ලංකා නිදහස් පක්ෂ අභ්‍යන්තරයේ ඇති වී තිබෙන ගැටලුව මේ වනවිට අධිකරණයේ පවතින බැවින් අධිකරණය විසින් පක්ෂයේ සභාපති කවුද යන්න මෙතෙක් තීන්දුවක් දී නැතැයිද එහි සඳහන් කර තිබේ.

ඒ අනුව ශ්‍රී ලංකා නිදහස් පක්ෂ ව්‍යවස්ථාව යටතේ සම්පූර්ණ බලතල ඇත්තේ සභාපතිට බැවින් වෙනත් කිසිදු නිලධාරියෙකු විසින් කරනු ලබන පත්කිරීම් සහ ගනු ලබන තීරණවල කිසිදු වලංගු බවක් නොමැති බවද හිටපු ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන සිය නිවේදනයේ වැඩිදුරටත් දක්වා තිබේ.

කෙසේ වෙතත් දේශපාලන ආරංචිමාර්ග සඳහන් කරන්නේ ඔහු කළක් ඉතා හිතෛශීව කටයුතු කළ ප්‍රධාන දේශපාලන පක්ෂක් සමග එක්වීමට උත්සාහ දැරුවද එය ව්‍යර්ත වූ බවය. එමෙන්ම ඔහු පසුගියදා ප්‍රකාශ කර තිබුණේ එවකට අධිකරණ ඇමති ලෙස කටයුතු කළ විජේදාස රාජපක්ෂට තමන්ගේ පූර්ණ සහයෝගය ලබා දෙන බවය. ඒ වෙනුවෙන් හිටපු ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන විසින් එවකට අධිකරණ ඇමති ලෙස කටයුතු කළ විජේදාස රාජපක්ෂට ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ සභාපතිත්වය බාර දෙන ලදී.

Facebook
Twitter
LinkedIn