පුනරුදයේ යුගයට එකදු පුරවැසියෙකු හෝ අත්නොහැර රැගෙන යා යුතුයි

පුනරුදයේ යුගයට එකදු පුරවැසියෙකු හෝ අත්නොහැර රැගෙන යා යුතුයි

එළඹෙන ජනාධිපතිවරණයෙන් පසුව රට ගොඩ නැගීමේ පුනරුද යුගය කරා එකතු පුරවැසියෙකු හෝ අත්නොහැර රැගෙන යා යුතුව තිබෙන බව ජාතික ජන බලවේගයේ ජාතික විධායක සභික, නීතිඥ හර්ෂණ නානායක්කාර අවධාරණය කර තිබිණි.

කොළඹ පැවති විශ්‍රාමික ත්‍රිවිධ හමුදා ජාතික මහ සමුළුව අමතමින් මේ බව අවධාරණය කළ ඔහු වැඩි දුරටත් දැක්වූ අදහස් පහත දැක්වේ.

මීට අවුරුදු එකහමාරකට පෙර මහරගම තරුණ සේවා ශාලාවේදී අදිටන රැස්වීමේදී මම එක ඉල්ලීමක් කළා. ඔබලාගේ ජීවිත පරි්‍යාගයෙන් මේ රටෙන් ත්‍රස්තවාදය ඉවර කිරීමට කටයුතු කළා. ඒකට ස්තුති කරනවා. ඒ වගේම මේ රට දූෂිත, වංචනිකයන්ගෙන් බේරාගෙන, රට ගොඩදැමීමේ මෙහෙයුමක් තිබෙනවා ඒකට එකතු වෙන්න කියලා ආරාධනාවක් කළා. එදා එතන දහසක් හිටියා. අද ඉන්නවා දස දහසක්. ක්‍රියාකාරී හතළිස් දහසක්. ඒ වගේම අරුණ ජයසේකර මහතාගේ ඇතුළු කණ්ඩායමේ නායකත්වයෙන් මෙහෙයවීමත්, මගේ ඉල්ලීමත් පිළිගෙන මෙතනට පැමිණි ඔබට මගේ ආචාරය පිරිනමනවා. ජාතික ජන බලවේගය විසින් ගොවියන්, කම්කරුවන්, ධීවරයන්, ගුරුවරුන් ආදී විවිධ වෘත්තීන් සම්බන්ධ කර ගනිමින් සමූහ රාශියක් එකතු කොට තිබෙනවා. නමුත් මිනිසුන්ට ඒ පිළිබඳ විශාල හැඟීමක් තිබුණේ නැහැ. හැබැයි අදිටන විශ්‍රාමික සමුහය හදලා “වක්කඩේ ගලන්න වගේ” ගලන්න ගත්තාම තමයි ජනතාව විශ්වාස කළේ ජාතික ජන බලවේගයට සෙනග ඉන්නවා, දිනන්න පුළුවනි කියලා. අනෙක් වෘත්තිය සංවිධාන හදන්න මාසයක් ගතවෙන කොට, විශ්‍රාමික අදිටන සාමූහිකය සතියට සමුළු පහ ගාණෙ තියන්න ගත්තා. අද දිවයිනේ ඉන්න ප්‍රබලම සංවිධානය විශ්‍රාමික ත්‍රිවිධ හමුදා අදිටන සංවිධානයයි. අපේ සාමූහිකයට අඩුවෙලා හිටියේ හමුදාපති කෙනෙක් පමණයි. අද නාවුක හමුදාපති අද්මිරාල් සිරිමෙවන් මහතා සහභාගීවීමෙන් අපට ඒ ගෞරවණීය අවස්ථාව උදාකර තිබෙනවා.

මෙතනින් එහාට අපට ගමනක් තිබෙනවා. රට බරපතළ ලෙස ආර්ථික කඩාවැටීමට ලක්වෙලා. ජනතාව සෑම අතින්ම පීඩාවට පත්වෙලා. අද රනිල් කියනවා තෙල් පෝලිම් නැහැ කියලා. මිනිසුන්ට තෙල් ගහන්න සල්ලි නැහැ. ගෑස් ගන්න සල්ලි නැහැ. ලයිට් කපන්නේ නැහැ. අපිම අපේ ලයිට් කපා ගන්නවා. දරුවන්ට ඉස්කෝලේ යන්න බැරිවෙලා තිබෙනවා. මේ තත්වය වෙනස් කරන්න අපි හැමෝම එකතු විය යුතුයි. මේ තියෙන්නේ අවසන් ගලවා ගැනීමේ මානුෂික මෙහෙයුම. මේ රට ගලවා ගන්න ඔබලා එහි පෙරමුණ ගත යුතුයි. ඔබලා කවදාවත් තුවාල වුණු සොල්දාදුවෙක් දාලා එන්නේ නැහැ. මැරුණත් කරේ තියාගෙන එනවා. ඒක තමයි ප්‍රතිඥාව. ඒ දේම මේ රටට කරන්න අවස්ථාවක් උදාවෙලා තිබෙනවා. දැන් ඒ දේම මේ රටට කරන්න අවස්ථාවක් උදාවෙලා තිබෙනවා. මේ රට දැන් යුද පිටියක්. ආර්ථික වශයෙන්, සමාජීය පීඩනයන්ගෙන්, සංස්කෘතික වශයෙන්, යුද පිටියක්. නීතියේ විධානයේ ආධිපත්‍යය නැහැ. මේක අපේ අදහස්වලින්, අපේ කැපවීමෙන් කරන යුද්ධයක්. සැප්තැම්බර් 21 වන විට පුනරුද යුගයේ ආරම්භය වෙන්න ඕනෑ. මේ ජවයක් නැතිව වැටී ඉන්න මිනිස්සු, ජීවිතය අතහැර ඉන්න මිනිස්සු අවදි කරන්න ඕනෑ. ඔබට වැඩකරලා මහන්සි ඇති; අමාරු ඇති. ඒත් තව පොඩ්ඩක් අපි වැඩ කරමු. සැප්තැම්බර් 21ට අපේ ජයග්‍රහණය ස්ථිරයි. මේ රටේ ජනාධිපති අනුර කුමාර දිසානායක බව ස්ථිරයි. සංවිධායක සහෝදරවරුන් එක්ක කතා කරන්න. කැන්වසින් යන්න. සැප්තැම්බර් 21දායින් පසු එන අලුත් රටට, පුනරුදයේ පරිවර්තන යුගයට එක පුරවැසියෙක් හෝ මඟ නොහැර අතින් අල්ලාගෙන යන්න ඕනෑ. දුකට, වේදනාවට, අසාධාරණයට ලක්වුණු සෑම පුරවැසියෙක්ම පුනරුදයට ගෙන යාමේ මූලික පෙරමුණ ගන්න කියා ඉල්ලා සිටිනවා.

Facebook
Twitter
LinkedIn