ලංකාවේ දරිද්‍රතාවය දිනෙන් දින ඉහළ යමින් ඇත. 2019 වනවිට රටේ ජනගහනයෙන් මිලියන 03ක් වූ ජනයා දුප්පතුන් බව ලර්න් ඒෂියා (LIRNEasia) ආයතනය විසින් කළ නවතම සමීක්ෂණයකින් හෙළි විය. 2023 වනවිට එම සංඛ්‍යාව මිලියන 07 දක්වා තවත් මිලියන 04කින් ඉහළ ගොස් තිබෙන බව ඔවුන් කියති. ලංකාවේ මිලියන 22.2ක් වූ ජනගහනයෙන් 31%ක් (1/3) දුප්පතුන්ය. මෙය 2024 වනවිට තවත් ඉහළ යෑම නොවැළැක්විය හැක. https://lirneasia.net/wp-content/uploads/2023/06/LIRNEasia-Social-Safety-Nets-and-the-State-of-Poverty-in-Sri-Lanka.pdf
ලෝක බැංකුව විසින් ලංකාව පිළිබඳව පසුගිය දා ඉදිරිපත් කළ “Sri Lanka Development Update : Mobilizing Tax Revenue for a Brighter Future” වාර්තාවට අනුව 2023 වසරේ ලංකාවේ දුප්පත් කම 27.9% වනු ඇති බව කියයි. මාගේ තක්සේරුව අනුව නම් ආණ්ඩුව ගෙන යන “තකතීරු” ආර්ථික ප්‍රතිසංස්කරණ හේතුවෙන් 2024 පළමු කාර්තුව අවසන් වනවිට රටේ දුප්පත් කම 35%-37% අතර මට්ටමට යෑම නොවැළැක්විය හැකි බවය. https://documents1.worldbank.org/curated/en/099807010022320004/pdf/IDU0e8d0983c05238044150a6a60b6949b0e03d5.pdf
එමෙන්ම, එක්සත් ජාතීන්ගේ සංවර්ධන වැඩසටහන (UNDP) පසුගිය දා එලිදැක්වූ බහුවිධ අවදානම් තත්ව දර්ශකය (Multidimensional Vulnerability Index) අනුවද ලංකාවේ ජනගහනයෙන් 55.7%ක් විවිධ වූ අවදානම් තත්වයන්වලට මුහුණ පා සිටින බව සඳහන් කොට තිබුණි. මිලියන 22.2ක් වූ ජනගහනයෙන් මිලියන 12.3ක් දෙනාට ප්‍රධාන දර්ශක 12න් අධ්‍යාපනය, සෞඛ්‍ය, ස්වාභාවික හෝ වෙනත් ආපදා, යහපත් ජීවන තත්වය යන ප්‍රධාන දර්ශකවලින් අවම තුනක් වත් අහිමි වී ඇත. https://www.undp.org/srilanka/blog/navigating-vulnerability-insights-sri-lankas-multidimensional-vulnerability-index
2024 ජනවාරි 01වන දා සිට ක්‍රියාත්මක වැට් බද්ද 18% දක්වා වැඩි කිරීමේ බලපෑම හේතුවෙන් සාමාන්‍ය ජනයාට තවත් විශාල ප්‍රශ්න රාශියකට මුහුණ පෑමට සිදුවේ. පැවති වැට් බද්ද අදාළ වූ කාණ්ඩ වල භාණ්ඩ සඳහා 15% සිට 18% දක්වා බදු වැඩි වීමට අමතරව මෙතෙක් වැට් (VAT) අය නොකළ භාණ්ඩ 97ක් සඳහ 18%ක් කෙලින්ම බදු අය කිරීම තුළ ජීවත් වීමට කිසියම් ස්වයං රැකියාවක් හෝ දේශීය නිෂ්පාදනයක් කිරීමට උත්සාහ කරන සියළු දෙනා කබලෙන් ලිපට ඇද දමා ඇත. එදා වේල සරිකර ගැනීමට යුද්ධයක් කරන ජනයා වස බොන තත්වයට පත්වනු ඇත. පෝසතුන් තවත් පෝසත් කරන දුප්පතුන් තවත් දුප්පත් කරන මෙම නව ලිබරල් ආර්ථික ක්‍රමය ඉක්මනින්ම පරාජය කළ යුතුය.
දරිද්‍රතාවයෙන් හා ඉහළ යන ජීවන වියදමෙන් පෙළෙන ජනයාට යම් අස්වැසිල්ලක් ලබා දීමට හැකි වඩාත් සුදුසුම ආයතනය සමුපකාරයයි. දිවයිනේ ක්‍රියාත්මක මට්ටමේ ඇති සමුපකාර සමිති 8,000කට ආසන්න ප්‍රමාණය විධිමත් ක්‍රමවේදයකට අනුව ප්‍රතිසංවිධානය කොට අදූෂිත අධ්‍යක්ෂ මණ්ඩලයන්ට භාර දෙන්නේ නම් ඉතා ඉක්මනින් රටේ අඩු ආදායම් ලාභී ජනයා නගා සිටුවිය හැක. අවශ්‍ය වන්නේ සුදුසු පිරිසකට ඒවායේ පාලනය ලබා දීමයි. ඒ සඳහා නිළවරණ පැවැත්වීමයි. එහෙත් රජය ඒ සඳහා උනන්දුවක් නැත.
ලංකාවේ සමුපකාර ව්‍යාපාරය පිළිබඳව මා විසින් කරනු ලබන අධ්‍යයනය පදනම් කරගෙන ලියවෙන 06වන ලිපිය මෙය යි. මීට පෙර අකුරැස්ස, වරාය සමුපකාරය, මැදිරිගිරිය, සහ මොරවක් කෝරළයේ තේ සමුපකාරය, කොබෙයිගනේ සමුකාරය යනාදි සමිති පිළිබඳ ලිපි පෙළක් පල කොට ඇත.
ජාතික ජනබලවේගය නියෝජනය කරමින් දැනට මාස තුනකට පෙර බලයට පත් මොරවක් කෝරළයේ තේ සමූපකාර අධ්‍යක්ෂ මණ්ඩලය ලබන වසරේ සිට ලංකාවේ වෙළෙඳපොළ සඳහා CooP Tea සන්නාමය යටතේ ගුණාත්මක තේ නිෂ්පාදන රාශියක් සමුපකාර ජාලය හරහා නිකුත් කිරීමට සූදානම් වේ. වර්තමානයේ ඔවුන් යටතේ ඇති තේ කර්මාන්ත ශාලා තුන මගින් නිපදවන තේ විදේශ වෙළෙඳපොළට සපයන අතරම ඔවුන්ගේ සමුපකාර වෙළඳසැල් 04 හරහා සීමිත ප්‍රමාණයක් ප්‍රදේශයේ අලෙවිය සඳහා නිකුත් කරයි. දැනට ග්‍රෑම් 500 තේ කොල පැකැට්ටුව ඔවුන් අලෙවි කරන්නේ රුපියල් 500කටයි. වෙළෙඳපොළේ වෙනත් පෞද්ගලික සමාගම් අලෙවි කරන ග්‍රෑම් 500 තේ කොල පැකැට්ටුවක මිල රුපියල් 1000ත් 1200ත් අතර වේ. ඉදිරි වසරේදි දිවයිනේ සමුපකාර අලෙවි සැල් හරහා මොරවක් කෝරළේ සමුපකාර තේ නිෂ්පාදන හා ඔවුන්ගේ අගය එකතු කළ තේ ඔබටත් පරිභෝජනය කිරීමට අවස්ථාව ලැබෙණු ඇත.
ජාතික ජනබලවේගයට 2005 සිටම බලය හිමි (එවකට ජවිපෙ) අකුරැස්ස සමූපකාරයටද කොටස් හිමි තේ කර්මාන්තායතනයක් ඇත. අකුරැස්ස සමූපකාරයේ සභාපති රාජපක්ෂ මහතා සමග පසුගිය දිනෙක මා කළ සාකච්ඡාවේදී ප්‍රකාශ කළේ ඔවුන්ද සමුපකාර සන්නාමයෙන් තේ නිෂ්පාදන දේශීය වෙළෙඳපොළට සැපැයීමට සූදානම් බවයි.
මෙම සමුපකාර දෙකේම සාමාජිකයන්ට අයත් තේ වතු හැරුණු විට මෙම සමුපකාර දෙකටම අයිතිය හිමි තේ වතුද ඇත. ඉදිරි වසරේදී High Density Tea Plantation (දැඩි ඝනත්ව) වගා ක්‍රමය යටතේ නියමු ව්‍යාපෘතියක් ආරම්භ කිරීමට ඔවුන් බලාපොරොත්තු වේ. තවත් සැලකිය යුතු හෙක්ටයාර ප්‍රමාණයක් නව තාක්ෂණය (Smart Agriculture Technology) භාවිතයෙන් වගාකිරීමට අවශ්‍ය මූලික කටයුතු මේ වනවිට සැකසෙමින් පවතී. සුදුසු භූමිය හඳුනාගැනීම, පසේ තත්වය පරීක්ෂා කිරීම යනාදිය සඳහා රජයේ තේ පර්‍යේෂන ආයතනයේ විද්‍යාඥයන්ගේ සහාය ස්වෙච්ඡාවෙන් ලබා ගැනීමට මේ වනවිටත් ජාතික ජන බලවේගය කටයුතු සූදානම් කොට ඇත. ඒ අනුව ලබන වසර වන විට ඉතා වැඩි දියුණු කළ පැල තවාන්, ගොවි පුහුණු කටයුතු යනාදිය ආරම්භ වන අතර තෝරා ගත් දැඩි ඝනත්ව පළමු ඉඩම් කට්ටි 75 වගාකිරීමද සමාන්තරව ආරම්භ වේ.
ජාතික ජනබලවේගයට බලය හිමි කොබෙයිගනේ සමුපකාර සමිතිය ලබන වසරේ සිට CooP Rice (සමුපකාර සහල්) සන්නාමය යටතේ ඔවුන්ගේ සහල් සැකසුම් මධ්‍යස්ථානය ක්‍රියාත්මක කිරීමට අවශ්‍ය කටයුතු මේ වනවිට සැකසෙමින් ඇත. ඉතා සාධාරණ මිලකට සහල් සැපැයීමට අමතරව කොබෙයිගනේ අවට ගොවි සමිති හරහා තරඟකාරී මිලකට වී තොග රැස්කිරීමට අවශ්‍ය ගබඩා පහසුකම් සැකසීමට අවශ්‍ය කටයුතු හා සැලසුම් මේ දිනවල කඩිනමින් සිදුකරමින් සිටී.
මේ වනවිට වෙළෙඳපොළ තුළ අත්‍යවශ්‍ය භාණ්ඩ මිල සීඝ්‍රයෙන් ඉහළ යන අතර, අත්‍යවශ්‍ය භාණ්ඩ කිහිපයක හිඟයක්ද ඇත. බිත්තර මිල සීඝ්‍රයෙන් වැඩි වී ඇත. බී ලූණු මිල 300%කින් ඉහළ ගොස් තිබේ. සම්බා සහල් හිඟයක්ද ඇත. මුං ඇට, කව්පි, පරිප්පු, වියලි මිරිස්, යනාදියේ මිල ද ඉතා ඉහළ මට්ටමක පවතී. උඩරට සහ පහත රට එලවළු මිලද අහස උසට නැග ඇත.
බොහෝ සමුපකාර සමිති කළු කඩවලින් භාණ්ඩ මිල දී ගෙන ඔවුන්ගේ සමුපකාර වෙළෙඳ සැල් හරහා වැඩි මිලකට අලෙවි කරන ක්‍රමවේදයක් අනුගමනය කරති. ගුණාත්මක භාවයෙන් අඩු භාණ්ඩ වැඩි මිලට අලෙවි කිරීමට යාම තුළ තරඟකාරීත්වයට මුහුණ දීමට නොහැකි වන අතර අවසානයේ සමුපකාර පාඩු ලබන අතර මහාපරිමාන දූෂණ සිදුවීමටද මෙම ක්‍රමවේදය හේතු වෙයි.
ජාතික ජනබලවේගයට බලය හිමි වී ඇති සමුපකාර සමිති 28ක් පමණ මේ වනවිට විශාල ප්‍රතිසංවිධාන වැඩපිළිවෙළකට යොමු කොට ඇත. ඒ අනුව ඔවුන්ට බලය ලැබී ඇති බොහෝ සමුපකාර සමිති මේ වනවිටත් විශාල ප්‍රගතියක් ලබා තිබෙන බව මාගේ සංචාරවලදී දැක ගන්නට ලැබුණි.
සමුපකාර ව්‍යාපාරය පිළිබඳ මාගේ අධ්‍යයනයේ කොටසක් ලෙස අද ලංකාවේ පවතින ආර්ථික අර්බුදයට විසඳුමක් හැටියට ජාතික ජන බලවේගයට බලය හිමි කොබෙයිගනේ, මහව, සහ නිකවැරටිය යන සමුපකාර අධ්‍යක්ෂ මණ්ඩල සමග පසුගිය දා දීර්ඝ සාකච්ඡාවක් කළ අතර එහිදී ඒකාබද්ධ තොග මිල දී ගැනීමේ ක්‍රමවේදයකට (Joint Buying) යෑමට ඔවුන් එකඟ විය. ඊට අමතරව අකුරැස්ස, වලස්මුල්ල සහ මොරවක් කෝරළේ සමුපකාර සමිති අධ්‍යක්ෂ මණ්ඩලද මෙම ක්‍රමවේදය අනුගමනය කිරීමට සූදානම් බව මීට පෙර පැවති සාකච්ඡාවකදී එකඟතාවයකට පැමිණියේය. පළමු වටයේදී මොවුන් සමූහ වශයෙන් කොළඹ තොග වෙළඳුන් හරහා කන්ටේනර් පිටින්ම තොග මිල දී ගැනීමට බලාපොරොත්තු වේ. මෙම ක්‍රමය නිසා ඔවුන්ට ලැබෙන ඉතා ඉහළ වට්ටම් ප්‍රතිශත වාසිය පාරිභෝගිකයාට ලබා දීමට සමුපකාර බලාපොරොත්තු වන අතර අතරමැදියන්ගේ මැදිහත් වීමකින් තොරව සාධාරණ මිලකට පාරිභෝගිකයාට භාණ්ඩ සැපැයීමටත් කළු කඩයට තරඟයක් දීම තුළ වෙළෙඳපොළ මිල පාලනය කිරීමටත් ඔවුන් බලාපොරොත්තු වේ.
දෙවන වටයේදී සමුපකාරය ඔවුන්ට අවශ්‍ය තොග සෘජුව ආනයනය කොට බෙදා හැරීමට බලාපොරොත්තු වන බවද සාකච්ඡාවේදී අසන්නට ලැබුණි. කීර්තිමත් ඉතිහාසයකට හිමිකම් කියන සමුපකාර ව්‍යාපාරය දේශපාලකයින්ට නතු වීම හරහා දූෂිත ආයතනයක් බවට පත්වීමෙන් පසු නව පාලනය යටතේ යළි ඉදිරි පිම්මක් පැනීමට උත්සාහ කිරීම පැසසිය යුතුය.
ජාතික ජනබලවේගයට බලය හිමි සමුපකාරවල අනාගත බලාපොරොත්තුව හැකි තාක් දේශීයව නිෂ්පාදනය කල හැකි වී, පොඩි සහ ලොකු ලූනු, මුං, කව්පි, මිරිස්, බිත්තර, බඩ ඉරුඟු, කිරි, මස්, මාළු, කරවල යනාදි ආහාර සඳහා නිෂ්පාදන සමුපකාර සමිති (Producer Cooperatives) ගොඩනැගීමටත් ඔවුන්ට අවශ්‍ය ප්‍රාග්ධනය, තාක්ෂණය සහ කෘෂි යෙදවුම් සැපැයීමට අමතරව ඔවුන්ගේ නිෂ්පාදන මිල දී ගැනීම සඳහා එම සමිති සමග පෙර එකඟතා ගිවිසුම්වලට (Forward Agreement) ඇතුළත් වීමටය. ඒ හරහා වෙළෙඳපොළ පාලනය සමුපකාරයට ලබා ගැනීමට ඔවුන් බලාපොරොත්තු වේ. මේ තුළ නිෂ්පාදකයා සහ පාරිභෝගිකයා හොඳින් ආරක්ෂා කළ හැක.
ජාතික ජන බලවේගය මෙම කටයුතු මෙහෙයවීම සඳහා එම පක්ෂයේ පාර්ලිමේන්තු මන්ත්‍රී විජිත හේරත් මහතාගේ මූලිකත්වයෙන් සමුපකාර ක්ෂේත්‍රයේ විශේෂඥයන් පිරිසක් යොදවා තිබීම පැසසිය යුතුය. සමුපකාර ව්‍යාපාරයේ දේශීයව මෙන්ම ජාත්‍යන්තර කීර්තියට පත් විදේශීය රටවල් රාශියක සමුපකාර ව්‍යාපාරය නගා සිටුවීම සඳහා දායක වී ඇති උපාලි හේරත් මහතා ප්‍රමුඛ කණ්ඩායම ලංකාව වටා සංචාරය කරමින් මෙම ප්‍රතිසංවිධාන කටයුතු සඳහා ස්වේච්ඡාවෙන් ඉදිරිපත්වී සිටීම අගය කළ යුතුය. රට ගොඩනැගීමට මේ වනවිටත් විදේශ රටවල සිටින විවිධ විෂයන් සම්බන්ධ ශ්‍රී ලාංකික ප්‍රවීණයන්ගේ සහාය ජාතික ජන බලවේගය ලබා ගැනීමට උනන්දු වී තිබීම ඉතා පැසසුම් සහගතය.
ජාතික ජනබලවේගය රටේ ආණ්ඩු නොකරන අවදියක ඔවුන්ට බලය හිමි සමුපකාර සමිති වෙත නව තාක්ෂණය ගෙන එමින්, වෙළෙඳපොළ කළමනාකරණය කරමින්, රටේ බහුතර අඩු ආදායම් ලාභී ජනයාගේ ආර්ථිකය ගොඩනැගීම සඳහා මේ අන්දමින් කටයුතු සංවිධානය කරන්නේ නම් ඉදිරියේදී රටේ පාලන බලය ඔවුන්ට හිමි වෙත්ම ලංකාවේ පවතින ආර්ථික, සමාජ හා දේශපාලන අර්බුදයට විසඳුම් සෙවීම දුෂ්කර නොවනු ඇති බව මාගේ විශ්වාසයි. ඒ පිළිබඳ රටේ වගකිව යුතු පුරවැසියන් හැටියට අප ශුභවාදී බලාපොරොත්තුවක් ඇති කර ගනිමු.

ශාන්ත ජයරත්න
ශ්‍රී ලංකා සංවර්ධන පරිපාලන ආයතනයේ (SLIDA) හිටපු ජ්‍යෙෂ්ඨ උපදේශක
16.12.2023
shantha323@gmail.com










