පොහොර සහනාධාර ජාතික වැඩපිළිවෙළ යටතේ 2018 වසරේ සිට ආනයනය කළ පොහොර තොග ගොවි ජනතාවට ලබානොදී වැඩි මිලට විවිධ කර්මාන්තශාලාවලට අලෙවි කර රජයට පාඩු කළ බව කියන සමාගම් 07ක බැංකු වාර්තා කැඳවීමට අධිකරණය නියෝග කර තිබේ.
අපරාධ පරීක්‍ෂණ දෙපාර්තමේන්තුවේ මූල්‍ය අපරාධ විමර්ශන කොට්ඨාසය අධිකරණයට ඉදිරිපත් කළ කරුණු සලකා බැලීමෙන් පසුව කොළඹ ප්‍රධාන මහෙස්ත්‍රාත් ප්‍රසන්න අල්විස් විසින් මෙම නියෝගය නිකුත් කරනු ලැබ ඇත.
කෘෂිකර්ම අමාත්‍යශයේ හිටපු ලේකම්වරු දෙදෙනෙකු විසින් සිදුකළ පැමිණිල්ලට අනුව පැවැත්වූ විමර්ශනයේදී මෙම වංචා සහගත සිද්ධිය අනාවරණය කරගත් බව අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තු නිලධාරීන් අධිකරණය හමුවේ ප්‍රකාශ කරනු ලැබ තිබේ.
ගෙන්වන ලද මෙම පොහොර අඩු මිලට ගොවීන්ට ලබාදිය යුතු වුවද පොහොර ලේකම් කාර්යාලයේ ලියාපදිංචි වී ඇති සමාගම් කිහිපයක් ඒවා ගොවීන්ට ලබානොදී වෙනත් කර්මාන්තශාලා වෙත වැඩි මිල ගණන් යටතේ අලෙවිකර ඇති බවට කරුණු තහවුරු වී ඇති බව එම දෙපාර්තමේන්තුව අධිකරණය හමුවේ තවදුරටත් ප්‍රකාශ කර තිබේ.
මේ සම්බන්ධයෙන් සිදුකළ විමර්ශනයට අනුව පොහොර ලේකම් කාර්යාලයේ ලියාපදිංචි සමාගම් 18න් 07ක් පමණ මෙම වංචාව සිදුකර ඇති බවට හඳුනාගෙන ඇති බවද අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව අධිකරණය වෙත දන්වා තිබේ.










