නේපාල ආණ්ඩුව සිදුකිරීමට යන අධ්‍යාපන ප්‍රතිසංස්කරණවලට එරෙහිව විරෝධය පළ කරමින් එක්ලක්ෂ දහසදහසක් (110,000) පමණ රජයේ ගුරුවරුන් දැවැන්ත වර්ජනයක් අරඹා ඇති අතර මේ වනවිට එය දින තුනක් ඉක්මවා ගොස් තිබේ.
නේපාල පාර්ලිමේන්තුව ගෙන ඒමට සූදානම් වන පාසල්වල අධීක්‍ෂණය පළාත් පාලන ආයතනවලට පැවරීමේ යෝජනාවලට සහ ගුරුවරුන්ට දේශපාලනය කිරිමට ඇති අයිතිය තහනම් කිරීමේ අධ්‍යාපන ප්‍රතිසංස්කරණ පනත් කෙටුම්පතට විරෝධය පළ කරමින් ආරම්භ කර ඇති මෙම වර්ජනය හේතුවෙන් පාසල්ද වසා දමා ඇති අතර පසුගිය 21වනදා ගුරුවරු විශාල පිරිසක් කත්මණ්ඩු අගනුවර පාර්ලිමේන්තු ගොඩනැගිල්ල ඉදිරියට ගොස් විරෝධතාවයේ නිරතවූහ. විරෝධතාකරුවෝ පොලිස් මාර්ග බාධක පසුකර යාමට උත්සාහ කරන විට ගැටුම්ද හටගෙන ඇත.
රටේ ප්‍රථම පාර්ලිමේන්තු මැතිවරණය 1959 දී පැවැත්වූ අතර දේශපාලන පක්ෂ විසින් ගුරුවරුන් ක්‍රියාකාරීන් ලෙස බඳවා ගැනීමට බොහෝ කලක සිට ක්‍රියාත්මක වෙමින් තිබේ. නේපාල ගුරුවරුන් රටේ ප්‍රජාතන්ත්‍රවාදය සඳහා වූ සටනට විශේෂයෙන් සම්බන්ධ වූහ. නමුත් ඇතැම් අධ්‍යාපන විශේෂඥයන් තර්ක කරන්නේ ගුරුවරු දේශපාලනයට සම්බන්ධ වීම අධ්‍යාපනයේ ගුණාත්මක භාවයට හානි කරන බවත් ඒම නිසා මෙම ආයතන තුළ පක්ෂ දේශපාලනය තහනම් කළ යුතු බවටත්ය.
2015 දී සම්මත කරන ලද ව්‍යවස්ථාමය වෙනසක් තුළින් පාසල් සහ රෝහල් වැනි ඇතැම් රාජ්‍ය ආයතනවල පාලනය පළාත් පාලන ආයතන වෙත මාරු කරන ලදී.
වසර 08ක් ගතවී ඇතත් ඇතැම් ගුරුවරුන් මැසිවිලි නගන්නේ ප්‍රාදේශීය නිලධාරීන් පාසල් පවත්වාගෙන යාමට නිසි ලෙස ක්‍රියා නොකිරීම නිසා අධ්‍යාපනයේ ගුණාත්මක භාවය පහත වැටී ඇති බවය.













