ගෝටා වෙනුවෙන් අලි සබ්රි තදින් හැපෙයි

ගෝටාබය රාජපක්ෂ බෙදුම්වාදය පරාජය කර රටේ සාමය ඇති කිරීමට නායකත්වය දුන් සෙන්පතියෙක් බවත් ඔහු හිරිහැර කරනවිට උඩබලාගෙන සිටිය නොහැකි බවත් රනිල් වික්‍රමසිංහ ජනාධිපති විසින් විදේශ ඇමති ලෙස පත් කර සිටින මොහොමඩ් අලි සබ්රි ප්‍රකාශ කරයි.

ඔහු මෙම ප්‍රකාශය කර තිබෙන්නේ ඉරිදා (17) ලංකාදීප පුවත්පතේ මාධ්‍යවේදී උපුල් වික්‍රමසිංහ මෙහෙයවූ සාකච්ඡාවකදීය. එහිදී ගෝටාබය රාජපක්ෂට හිරිහැර කළ බවට චෝදනා නැගෙන්නේ 2015 රනිල් වික්‍රමසිංහ සහ මෛත්‍රීපාල සිරිසේන එක්ව පිහිටවූ හවුල් පාලන සමයට අදාලවය. එහෙත් එදා අගමැති අද ජනාධිපති වී සිටින අතර ඔහු යටතේ සිටිමින් අලි සබ්රි මේ වනවිට ගෝටාබය රාජපක්ෂ සම්බන්ධයෙන් තීරණාත්මක ලෙස මත පල කරමින් සිටී.

ලංකාදීප මාධ්‍යවේදියා යොමු කළ ප්‍රශ්න දෙකක් සහ එයට අදාළව ඇමති අලි සබ්රි ලබා දුන් පිළිතුරු පහත පළ වේ.

ගෝඨාභය රාජපක්ෂ 2019 ජනාධිපතිවරණයට සූදානම් වෙද්දී ඔබ තමයි ඔහුගේ නීති කටයුතු වෙනුවෙන් පෙනී හිටියෙ. එදා කළේ වැරැද්දක් කියලා දැන් හිතෙන්නෙ නැද්ද?

අනිවාර්යයෙන්ම නෑ. නීතිඥවරයෙක් හැටියට මම පෙනී සිටිය යුත්තෙ කවුරුන් වෙනුවෙන්ද කියලා කවුරුත් කියන්න ඕන නෑ. ඒක මගේ යුතුකම. ගෝඨාභය රාජපක්ෂ මහත්මයා ආර්ථික වශයෙන් අසාර්ථක වුණා. නමුත් එතුමා මේ රටේ ජාතික ආරක්ෂාව හා ස්වෛරීත්වය ආරක්ෂා කිරීම සඳහා කරන ලද සේවය අලුතින් ආපු අයට මතක නෑ. ඒත් ඒක කවදාවත් මිනිස්සුන්ගෙ මතකයෙන් ඉවත් වෙන දෙයක් නෙවෙයි. එතුමා වෙනුවෙන් පෙනී ඉඳලා එතුමව ආරක්ෂා කර ගත්ත එක වෘත්තීය ජීවිතයෙ මම ලබපු විශාලම ජයග්‍රහණයක් හැටියටයි මම සලකන්නෙ.

ඒත් ඔහු තමයි මේ අර්බුදයෙ ප්‍රධාන චූදිතයා. අනිත්මට ඔහු රටිනුත් පලා ගියා…

එතුමා ප්‍රධාන චූදිතයා කියන එක හැමෝටම කියන්න පුළුවන්. එතුමා බෙදුම්වාදය පරාජය කරලා රටේ සාමය සඳහා නායකත්වය දුන් සෙන්පතියෙක්. එවැනි කාලයක එතුමට හිරිහැර කරන කොට උඩ ලබාගෙන ඉන්න කියලද කියන්නෙ. එතුමා වෙනුවෙන් පෙනී සිටීම අපේ යුතුකමක් නෙවෙයිද? ආර්ථිකය කඩා වැටීම සඳහා එතුමා ගත්ත යම් යම් තීන්දු හේතු වුනා කියලා මම පිළිගන්නවා. නමුත් ඒක එතුමා විතරක් කරපු දෙයක් නෙවෙයි. ලංකාව කියන්නෙ අවුරුදු 75ක් තිස්සෙ ණයට අරන් කාපු රටක්. ආදායමට වඩා වියදම වැඩි රටක්. ඒවත් එක්ක පාස්කු ප්‍රහාරය ආවා. ඊට පස්සෙ කොවිඩ් වසංගතය ආවා. ඊට පස්සෙ රුසියා-යුක්රේන යුද්ධය ආවා. මේ හැම දේකම බලපෑම එතුමගෙ පාලනය මත කඩා වැටුණා.

Facebook
Twitter
LinkedIn