ලංකාවටම සිටි එකම ළමා විකිරණවේද වෛද්‍යවරයාත් රට හැර යයි

ලංකාවටම සිටි එකම ළමා විකිරණවේද වෛද්‍යවරයාත් රට හැර යයි

මෙරට සිටින විශේෂඥ වෛද්‍යවරුන්ගෙන් බහුතරයක් මේ වනවිට රට හැර ගොස් ඇති බව පවසන විශේෂඥ වෛද්‍යවරුන්ගේ සංගමය වැඩිදුරටත් අනාවරණය කර සිටින්නේ මෙරට සිටි ළමා රෝග විකිරණවේදය පිළිබඳ එකම විශේෂඥ වෛද්‍යවරයාද මේ වනවිට රට හැර ගොස් ඇති බවය.

ඛන්තු රේඛ පිළිබඳ හෘද රෝග විශේෂඥ වෛද්‍යවරුන්, ළමා ස්නායු රෝග විශේෂඥ වෛද්‍යවරුන්, ළමා හෘද රෝග විශේෂඥ වෛද්‍යවරුන්, හදිසි ප්‍රතිකාර පිළිබඳ විශේෂඥ වෛද්‍යවරුන් සහ ළමා මනෝ වෛද්‍ය විශේෂඥවරුන් ආදී ක්‍ෂේත්‍රවල සිටි සීමිත විශේෂඥ වෛද්‍යවරුන්ද මේ වනවිට රට හැර ගොස් ඇතැයි ඔවූහු පවසති.

එළඹෙන 2024-2025 වර්ෂ සඳහා මෙරට සෞඛ්‍ය ක්‍ෂේත්‍රයට විශේෂඥ වෛද්‍යවරුන් 4000ක් පමණ අවශ්‍ය බවට ඇස්තමේන්තුගත කර ඇතත් මේ වනවිටත් රට තුළ සිටින්නේ විශේෂඥ වෛද්‍යවරුන් 2000ක් පමණක් යැයිද විශේෂඥ වෛද්‍යවරුන්ගේ සංගමයේ මාධ්‍ය ප්‍රකාශක විශේෂඥ වෛද්‍ය අශෝක ගුණරත්න සඳහන් කරයි.

හදිසි අනතුරු අංශවල සේවය කිරීම සඳහා විශේෂඥ වෛද්‍යවරුන් ලෙස 30දෙනෙකු පමණ පුහුණු කළද මේ වන විටත් ඉන් 20දෙනෙකු පමණ රට හැර ගොස් ඇතැයි ඔහු පෙන්වා දෙයි.

2024-2025 වසර සඳහා නිර්වින්දන විශේෂඥ වෛද්‍යවරුන්ගේ ඇස්තමේන්තුව 289ක් වුවත් මේ වනවිට මෙරට සිටිනුයේ, නිර්වින්දන විශේෂඥ වෛද්‍යවරුන් 155 දෙනෙකු පමණක් බවත් ඉන් තිස් දෙනෙකුම රට හැර ගොස් ඇති බවත් විශේෂඥ වෛද්‍ය අශෝක ගුණරත්න සඳහන් කරයි.

ලබන වසර වනවිට මෙරට ඉතිරි වනු ඇත්තේ, නිර්වින්දන වෛද්‍යවරු සියදෙනෙකුගෙන් පමණ යුතු පිරිසක් බවද ඔහු අවධාරණය කරයි.

Facebook
Twitter
LinkedIn

උණුසුම් පුවත්