රනිල් නීතිය රකින බව කියන්නේ ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ කොල කඩලා රොකට් ගහන ගමන් – නීතිඥ ජානක අධිකාරී

රනිල් නීතිය රකින බව කියන්නේ ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ කොල කඩලා රොකට් ගහන ගමන් – නීතිඥ ජානක අධිකාරී

තමන්ගේ පාලන කාලය තුළ රටේ නීතිය හා සාමය කඩකිරීමට කාටවත් ඉඩ දෙන්නේ නැතැයි පත්කළ ජනාධිපති රනිල් වික්‍රමසිංහ පවසන්නේ ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ කොල කඩලා රොකට් ගහන ගමන් යැයි ජාතික ජන බලවේගයේ නීතීඥයෝ සංවිධානයේ කොළඹ දිස්ත්‍රික්ක සාමාජික නීතිඥ ජානක අධිකාරී පවසයි.

ඔහු මේ බව පැවසූවේ ජනතා විමුක්ති පෙරමුණේ ප්‍රධාන කාර්යාලයේ ඊයේ (02) පැවති මාධ්‍ය හමුවක් අමතමිණි.

“මේ වනවිට රට තුළ ඉතා බරපතළ තත්වයක් නිර්මාණය වෙමින් තිබෙනවා. ඊයේ රනිල් වික්‍රමසිංහගෙන් එක්වරම නිව්ස් ඇලට් එකක් ආවා, “මගේ පාලන කාලය තුළ රටේ නීතිය හා සාමය කඩන්න කාටවත් ඉඩ දෙන්නේ නැහැ” කියලා. මේ වගේ නිව්ස් ඇලට් එකක් එන්න හේතුව මේ වෙද්දි රනිල් වික්‍රමසිංහ විසින්ම රට ඇතුළේ නිර්මාණය කරමින් තිබෙන ඉතාම භයානක තත්වයක් නිර්මාණය කරමින් පොලිස් රාජ්‍යයක් වෙත මේ රට අරගෙන යන ගමන තුළයි. රනිල් වික්‍රමසිංහ කියන ජනාධිපතිතුමා මේ ප්‍රකාශය නිකුත් කරන්නේ ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව උඩ ඉඳගෙන. අපි බොහොම පැහැදිලිව කියනවා ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව සමග සෙල්ලම් කරනගමන්, ඒකේ කොල කඩලා රොකට් ගහන ගමන් තමයි රනිල් වික්‍රමසිංහ ජනාධිපති කියන්නේ මේ රටේ නීතියයි සාමයයි ආරක්ෂා කරනවා කියලා. අද මේ ගෙනෙන ත්‍රස්ත විරෝධී පනතේ පූර්විකාවේ තියෙන්නේ අපේ රට අද දවසේ බරපතළ ත්‍රස්තවාදී තර්ජනයකට ලක්වෙමින් පවතින බවයි. අපි රනිල් වික්‍රමසිංහගෙන් කෙසේ වෙතත් මේ රටේ ජනතාවගෙන් හා මාධ්‍යයෙන් අහනවා මේ රට ත්‍රස්තවාදයට ගොදුරු වෙමින් තිබෙනවාද? එහෙම තත්වයක් රට තුළ නැහැ. රනිල් වික්‍රමසිංහ ඉතා භයානක ලෙස ජනතා මතය යටපත් කරමින් පාලනය කරමින් එයට අවශ්‍ය පසුබිමක් නිර්මාණය කරනවා.

රනිල්ගේ සිතැඟියාවන් පරිදි කරගෙන යාමට ශ්‍රේෂ්ඨාධිකරණය බාධාවක් වි තිබෙනවා. ඒ නිසා පාර්ලිමේන්තුවේ සිටින තමන්ගේ අතකොලු මගින් ගරු ශ්‍රේෂ්ඨාධිකරණයට තර්ජනය කරමින් සිටිනවා. මේ ජනවරමක් නැති විකෘති පාර්ලිමේන්තුව මගින් ත්‍රස්ත විරෝධී පනත් සම්මත කරගෙන මේ රට පොලිස් රාජ්‍යයක් නිර්මාණය කරමින් ඉන්නවා. මේ ජනවරමක් නැති විකෘති පාර්ලිමේන්තුවට මේ පනත් සම්මත කිරීමට කිසිදු බලයක් නැහැ. මේ ආණ්ඩු බලයේ සිටින සියලු දෙනාට දීපු ජනවරම 2022දි ජනතාව ආපසු ගත්තා. 69 ලක්ෂයක් ඡන්දය ලබාගත් ගෝඨාභය ආපසු ගියේ ජනතාව දෙන ලද ජනවරම ආපසු ගත්තු නිසා.

මේ පීඩක පාලකයාට බරපතළ තර්ජනයක් නිකුත් කරන, ඔහුගේ අත්තනෝමතික ජනතා විරෝධී ක්‍රියාවන්ට බාධාකරන වෘත්තීය සමිති මෙල්ල කර ගැනීමට ඔහුට ඕනෑකම තිබෙනවා. ජනාධිපතිට හිතෙන හිතෙන දේ විකුණන්න සූදානම් වෙද්දි එයට විරෝධතාවය දක්වන අය මර්දනය කරන්න අවශ්‍යයි. ජනතා විරෝධතාවය ප්‍රජාතන්ත්‍ර අයිතියක් ලෙස පිළිගෙන තිබෙනවා. ජනතා මූලික අයිතීන් ලෙස භාෂණයේ, ප්‍රකාශනයේ අයිතීන් පිළිගත් රටක ඒවා ත්‍රස්ත විරෝධී ක්‍රියා ලෙස අර්ථනිරූපණය කර ගැනීමට රනිල්ට වුවමනා වෙලා තිබෙනවා. මීට ප්‍රථම තිබුණේ රැඳවුම් නියෝග නිකුත් කිරීමේ බලය තිබුණේ ආරක්ෂක ඇමතිට පමණයි. නමුත් මේ පනත අනුව නියෝජ්‍ය පොලිස්පතිවරයෙකුට හැකියාව ලැබෙනවා ඩිටෙන්ෂන් ඕඩර් ගහන්න. එසේ ඩිටෙන්ෂන් ඕඩර් ගහපු තැනැත්තා මහේස්ත්‍රාත්වරයා වෙත ඉදිරිපත් කළාට පස්සේ ඔහුට පැවරෙන්නේ එය අනුමත කිරීම පමණයි. ඒ පිළිබඳ විමර්ෂණය කිරීමේ අයිතියක් වත් මහේස්ත්‍රාත්වරයාට නැහැ. මේ පනත යටතේ අත්පුඩියක් ගසා සංඥාවක් කිරීමක් පොලීසියට හිතුණොත් එය ත්‍රස්තවාදී ක්‍රියාවක් ලෙස ඔහුව අත්අඩංගුවට ගැනීමට පොලීසියට හැකියාව ලැබෙනවා.

සෞඛ්‍ය සම්බන්ධයෙන්, අධ්‍යාපනය සම්බන්ධයෙන් ගෙන ආ වැරදි ප්‍රතිපත්ති, වරාය විකිණීමේදී, ටෙලිකොම් විකිණිමේදී ඒවා රැකගැනීමේ උවමනාවෙන් වෘත්තීය සමිති විසින් බරපතළ ලෙස විරෝධතා ව්‍යාපාර දියත් කරනවා. ගොවීන් පොහොර ඉල්ලා කරන ඉල්ලීම්, මෙම ක්‍රියාමාර්ග වැළැක්වීමට ආණ්ඩුවට වුවමනාව තිබෙනවා. මේ සඳහා ත්‍රස්ත විරෝධී භයානක පනත ගෙනඒමට උත්සාහ කරනවා. මෙය අතිශය භයානක පනතක්. ගමේ මරණාධාර සමිති, සුබසාධන සමිති, ගොවි සංගමයක් මේ පනත අනුව ත්‍රස්ත සංවිධානයක් ලෙස නම් කිරීමටත්, අත්අඩංගුවට ගැනීමටත් මේ පනත මගින් හැකියාව ලැබෙනවා. මේ පනතට විරුද්ධව ජනතාව පෙළගැසිය යුතුයි. මෙම පනතට එරෙහිව අපි අධිකරණ ක්‍රියාමාර්ග ගනිමින් ඉන්නවා.”

Facebook
Twitter
LinkedIn