ලෙබනනය හා ටියුනීසියාව මුල්‍ය අරමුදලේ ණය කොන්දේසි ප්‍රතික්‍ෂේප කරයි?

ලෙබනනය හා ටියුනීසියාව මුල්‍ය අරමුදලේ ණය කොන්දේසි ප්‍රතික්‍ෂේප කරයි?

මේ වන විට ඇතිවී තිබෙන ජාත්‍යන්තර මුල්‍ය අර්බුධය ජර්මනියේ ප්‍රධාන deutch bank නම් බැංකුව දක්වා වර්ධනය වෙද්දී ඊයේ 26 වනදා අන්තර් ජාතික මුල්‍ය අරමුදලේ අධ්‍යක්ෂිකාව ජාත්‍යන්තර මාධ්‍ය අමතා ප්‍රකාශ කරනු ලැබුවේ ඇතිවී තිබෙන තත්වය ලෝක ආර්ථිකය අවපාතයක් දක්වා උත්සන්න විය හැකි බවයි. ඒ අතර ලෙබනනය හා ටියුනීසියාව තම කොන්දේසි ප්‍රතික්‍ෂේප කරලීම නිසා එම රටවල ආර්ථික කඩා වැටීමේ කඩ ඉමට පැමිණ ඇති බවත් ඇය තවදුරටත් පවසා සිටියාය. අදාල රවටල් දෙකේ ආර්ථික අර්බුධය සම්බන්ධයෙන් තමන්ද දැඩි ලෙස විමසිල්ලෙන් පසු වන බවත් එය කලාපීය රටවලට බරපතල අර්බුද නිර්මාණය කරනු ඇතැයි මේ අතර ඇමරිකාව හා යුරෝපා සංගමයද කියා සිටි.

2010 දෙසැම්බර් 17 වනදා ලෝකය අන්දමන්ද කරමින් ටියුනීසියානු ජනතාව එරට බෙන් අලි පවුල් පාලනය අවසාන කරනුයේ “අරාබි වසන්තය” නැමැති නව සටන් ක්‍රමවේදයක් ලොවට හඳුන්වා දෙමිනි. එතැන් සිට ආරම්හ වන මෙම සටන් කලාව ඊජිප්තුව, ලිබියාව, සිරියාව දක්වා වර්ධනය වන අතර මේ දක්වා තමන් විසින්ම ආරක්ෂා කල ඒකාධිපතින් පන්නා දැමීමට එම ජනතාවට සහය ලබාදීමට ඇමරිකාව හා යුරෝපා සංගමය මැදිහත් වනුයේ තත්වය තමන්ට වාසි සහගත ලෙස පාලනය කර ගැනීම ඉලක්ක කරමිනි. ආර්ථික පීඩනය, උද්ධමනය හා රැකියා විරහිත භාවය හේතුවෙන් නැගී සිටි ජනතාවට නායකත්වය දීමට ශක්තිමත් දේශපාලන ව්‍යාපාර නොමැතිවීම හේතුවෙන් මෙම රටවල් දීර්ඝ කාලින සිවිල් යුධ තත්වයන්ට හෝ ආගමික අන්තවාදී පාලකයන්ගේ පාලනයන්ට හසු වුයේ බලවත් රටවලද ආශිර්වාදය සමගිනි.

මෙහිදී ටියුනීසියාව තත්වය වාම දේශප්‍රේමී පෙරමුණක(WATAD) පාලනයක් දක්වා වර්ධනය වෙද්දී එය අවසන් වනුයේ ඒ සඳහා නායකත්වය දුන් ඉස්ලාම් අන්තවාදයට එරෙහිව සටන් කල chokri Belaid හා mohamed Brahimi 2013 දී ඉතා කුමන්ත්‍රණකාරී ලෙස මරා දැමීම හේතුවෙනි. ටියුනීසියාව තුල වාමාංශික රජයක් පිහිටුවීමට 2010 ජැස්මින් විප්ලවයෙන් පසුව යම් හෝ අවකාශයක් තිබුනේ මෙම නායකයින් දෙදනා විසින් එරට ජනතා විප්ලවයෙන් පසුව නව ජනතාවාදී ව්‍යවස්ථාවක් සම්මත කර ගැනීම සඳහා සිදුකල දැවැන්ත මැදිහත් වීම හේතුවෙනි. එසේම ඔවුන්ගේ දේශපාලන වැඩ පිළිවෙල තුල එක්සත් අප්‍රිකාවක්(panaficanism) වූ ව්‍යාපෘතියක්ද ඇතුළු වී තිබීම ඔවුන්ගේ මරණ වලට ආසන්න හේතු වන්නට ඇත.

බෙන් අලී විසින් තම පාලන කාලය තුල රජය හා ආගම වෙන් කරමින් කලාපයේ වෙනත් රටවලට වඩා කාන්තාවන්ට විශාල අයිතිවාසිකම් ප්‍රමාණයක් ලබා දුන් සමාජයක් බිහි කිරීම තුල ටියුනීසියානු ජනතාව වාමාංශික රජයක් වෙත යාමේ විශාල ඉඩ කඩක් බෙන් අලි පන්නා දැමීමෙන් උදා වූ නව තත්වය තුල වර්ධනය වෙමින් තිබිණි. එසේම එවැනි වාමාංශික රජයක් බිහිවීම මේ දක්වා බටහිරට හා ඇමරිකාවට අභියෝග කරන රාජ්‍යයන් වන අසල්වැසි ඇල්ජීරියාව හා ලිබියාව තවත් ශක්තිමත් වීම මෙන්ම අප්‍රිකානු සහෙල් කලාපය තුල ඇති තෙල්, ගෑස් සම්පත් මංකොල්ල කෑමේ තම ව්‍යාපෘතියට තර්ජනයක් වීම වැළැක්විය නොහැකි තත්වයක්ද බටහිර පාලකයන්ට මේ තුලින් නිර්මාණය වීමට ඉඩ තිබිණි.

ඉහත වාමාංශික නායකයින් දෙදෙනා මරා දැමීම ඍජුවම චෝදනා එල්ල වුයේ ඉස්ලාම්වාදී ENNAHDA පක්ෂය වෙත වේ. ටියුනීසියානු තරුණ ප්‍රජාව හා අනෙකුත් රටවල මුස්ලිම් තරුණයන්ගේ මොල සෝදා ඉරාකයේ හා සිරියානු ISS ත්‍රස්ත්‍රවාදී ව්‍යාපාරය වෙත යැවීම සඳහා ennahda පක්ෂය හා සියෝන්වාදීන්-අධිරාජ්‍යවාදීන් අතර රහස් එකඟතාවයක් ඇති බව මුලින්ම ලොවට හෙළිකළේ මරා දැමු chokri Belaid විසිනි.

2011දී ටියුනීසියාවේ බලයට පත් වූ ennahda පක්ෂය ටියුනීසියානු සමාජය දැඩි ඉස්ලාම් කරණයට පත් කල අතර වාමාංශික පක්ෂ වෙත නැඹුරු වූ තරුණ ප්‍රජාවෙන් 5000කට වැඩි පිරිසක් ඉරාකයේ ISS ත්‍රස්ත්‍රවාදීන් සමග එක්වීම සඳහා පිටත් වීමට ඉඩ ලබාදෙනු ලැබීය. මේ සඳහා මුදල් පොම්ප කිරීම ලැබීම සම්බන්ධයෙන් සෞදි අරාබියට හා කටාර් රාජ්‍යයට චෝදනා එල්ල විනි. කෙසේවෙතත් මෙමගින් තරුණ ප්‍රජාව ලිබියාවේ, සිරියාවේ හා ඉරාකයේ ත්‍රස්ත්‍රවාදය වෙත තල්ලු කිරීමෙන් පාලක ඉස්ලාම්වාදී රජයේ හිටපු ආරක්ෂක ඇමතිවරයා Rached Ghannouchi 2022 සැප්තැම්බර් මාසයේ 22දා අත්අඩංගුවට ගැනිණි. කෙසේවෙතත් 2017-2018 කාලය තුල ටියුනීසියාවේ ජනතා නැගිටීම් 5000ක් පාලක ඉස්ලාම්වාදී පාලනයට එරෙහිව එල්ල වුයේ මුල්‍ය අරමුදලේ කොන්දේසි ඔස්සේ ඔවුන්ගේ ආශිර්වාදය සමගින් රටේ දියත් කල ආර්ථික සැලැස්ම හේතුවෙනි.

අන්තවාදී පාලනයකට ටියුනීසියාව හසුවී පැවතියත් අන්තර් ජාතික මුල්‍ය අරමුදල 2011 සිට 2016 කාලය තුල ඩොලර් බිලියන 3ක් ටියුනීසියාව වෙත ලබා දෙනුයේ බදු වැඩි කිරීම, රාජ්‍ය සේවක වැටුප් කප්පාදු කිරීම, අත්‍යවශ්‍ය ආහාර ද්‍රව්‍ය සඳහා ලබාදෙන සහන කපා දැමීම, විශ්‍රාම වැටුප් සංශෝධනය හා මධ්‍යම බැංකුව ස්වාධීන කිරීම වැනි කොන්දේසි ඔස්සේය. මෙම මුල්‍ය අරමුදල් ව්‍යාපෘතිය හේතුවෙන් රටේ උද්ධමනය හා ජිවන වියදම ඉහල ගිය අතර නැවත වරක් ජනතා අරගල උත්සන්න විනි. මුල්‍ය අරමුදල් වාර්තා විසින්ම සනාථ කරනුයේ රටේ ණය ප්‍රමාණය එරට දල ජාතික නිෂ්පාදනයෙන් 2017 දී 60%සිට 2021 දක්වා කාලය තුල 90%දක්වා වර්ධනය වූ බවයි.

කෙසේවෙතත් 2019 බලයට පැමිණි දක්ෂිණාංශික හා ජනප්‍රියවාදී පක්ෂ නායක Kais saied විසින් නැවතත් ඒකාධිපති පාලනයක් සඳහා ව්‍යවස්ථාව සංශෝධනය කර ගනු ලබන අතර මේ වන විට දරුණු ආර්ථික අර්බුධයක රට ඇද වැටීම පිළිබඳව අන්තර් ජාතික මුල්‍ය අරමුදලට වක්‍රව චෝදනා කරමින් නව ආර්ථික ගිවිසුමක් අත්සන් කිරීම ප්‍රතික්ෂේප කර ඇත.

තම පාලනයට එරෙහිව ජාත්‍යන්තර කුමන්ත්‍රණයක් ඇතැයි පවසමින් kais saied යුරෝපා සංගමයට හා ඇමරිකාවට එරෙහිවද චෝදනා කරන අතර පසුගිය දා චීනයේ හා ඇල්ජීරියාවේ සංචාර කරමින් ආර්ථික හා දේශපාලන ගිවිසුම් රාශියක් වෙනුවෙන් අත්සන් කරන ලදී. කෙසේ වෙතත් ඇල්ජිරියාව මුල්‍ය අරමුදල හා ටියුනීසියාව අතර නැවත සාකච්චා ආරම්හ කිරීමට සහය දේ. 2022දී පමණක් ඇල්ජීරියාව ඩොලර් මිලියන 200ක ණයක් ටියුනීසියාවට ලබා දුන් අතර එයින් මිලියන 100ක් ලබා දී ඇත්තේ ආධාරයක් ලෙස පමණි.

ටියුනීසියාවේ මෙම රාජතාන්ත්‍රික වෙනස්වීමත් සමග ඊයේ(26) ඇමරිකානු රාජ්‍ය ලේකම් වරයා,BLINKEN පවසා සිටියේ ටියුනීසියානු රජය මුල්‍ය අරමුදල සමග එකඟතාවයකට පැමිණීමට නොහැකි වුවහොත් නැවත වරක් ඇතිවිය හැකි ජනතා නැගිටීම් හේතුවෙන් සමස්ථ කලාපයම අස්ථාවර වීමේ ඉඩ කඩක් තිබිය හැකි බවයි. මෙම ප්‍රකාශයෙන් හැඟී යනුයේ ටියුනීසියානු ජනතාව තවදුරටත් ආගමික අන්තවාදයෙන් මිදී සමාජීය අයිතිවාසිකම් දිනා ගැනීම් වෙනුවෙන් නැගී සිටීම පාලක පංතියට අනතුරු සහගතයි යන්න බව විනා වෙන යමක් නොවන බව දේශපාලන විචාරකයින්ගේ මතයයි.

කෙසේවෙතත් ජනාධිපති Kais saied විසින් එරට ජිවත්වන හා සේවය කරන කළු ජාතිකයන්ට එරෙහිව සිදු කරන ජාතිවාදී ප්‍රකාශයන් ජනතාව සමේ වර්ණය ඔස්සේ බෙදා තම බලය රැක ගැනීමට ගනු ලබන උත්සාහයක්ද යන්නත් මානව අයිතිවාසිකම් සංවිධාන වල දැඩි විවේචනයට භාජනය වී ඇත. ඉස්ලාම් අන්තවාදයට තල්ලු කරගැනීමට නොහැකි වූ ටියුනීසියානු ජනතාව මෙවැනි ප්‍රකාශ ඔස්සේ ජාතිවාදයට තල්ලු කිරීමටද යන්න අනාගතයේදී තහවුරු වනුයේද මුල්‍ය අරමුදලේ භූමිකාව මත වේ.

එසේම මේ වන විට ලෙබනනයේ තත්වය සම්බන්ධයෙන්ද මුල්‍ය අරමුදලේ අධ්‍යක්ෂිකාව පවසනුයේ ඒ හා සමාන අදහසකි. 2019 සිට ආරම්හ වන ලෙබනනයේ ආර්ථික අර්බුධය හේතුවෙන් එරට ණය ප්‍රමාණය දල ජාතික නිෂ්පාදනයෙන් 190%ක් ලෙස සඳහන් වේ. එහිදී රටේ ණය ගෙවීම සඳහා අවශ්‍ය පොලිය සඳහා පමණක් එරට දල ජාතික නිෂ්පාදනයෙන් 10%ක් අවශ්‍ය වේ. රටේ ජනගහනයෙන් 1%ක ප්‍රමාණයක්(3500ක ධනවතුන්) රටේ අදායමෙන් 50% ක ප්‍රමානයක් භුක්ති විඳිනු ලබයි. රටේ උද්ධමනය 80%ක් පමණ වේ.

2020-21 කාලය තුලදී තෙල් හා ඖෂධ හිඟය, අත්‍යවශ්‍ය ආහාර හිඟය හේතුවෙන් රටේ ආර්ථික අර්බුධය තවත් ත්‍රිව වී ඇත. ලෙබනනයේ ණය අර්බුධයේ විශේෂත්වය වනුයේ එම ණය වල ප්‍රධාන හිමිකරුවන් වනුයේ රටේ ධනය සොරකම් කර විදේශ වල වෙසෙන ලෙබනන් ධන කුවේරයන් විසිනි.

මෙම තත්වය හමුවේ මුල්‍ය අරමුදලේ අධ්‍යක්ෂිකාව ලෙබනන් රජයෙන් ඉල්ලා සිටිනුයේ එරටට වෙන් කර ඇති ඩොලර් බිලියන 3 ලබාදීම සඳහා ප්‍රධාන මධ්‍යම බැංකුවෙන් ණය ගැනීම අත්හිටුවා මධ්‍යම බැංකුව රජයෙන් ස්වාධීන කර ණය ගැනීම් වෙළඳ බැංකු මගින් සිදු කරන ලෙසයි. එම මුල්‍ය අරමුදල් ක්‍රමවේදය ඔස්සේ සිදුවනුයේ ලෙබනන් රජයට අධික පොලියට ණය ගැනීම සඳහා මුල්‍ය වෙළඳපලට වෙත යාමට බලකිරීමක් වන අතර ඒ අනුව තවදුරටත් රටේ ණය ප්‍රමාණය ටියුනීසියාවේ සිදු වූ ආකාරයටම ඉහල යාම විනා වෙන යමක් නොවේ.

ඒ අනුව ජාත්‍යන්තර මුල්‍ය අරමුදලේ මෙම ඉහත රටවල් දෙක සම්බන්ධයෙන් වූ මැදිහත් වීම ඉතාමත් ගැටළු සහගත තත්වයක් ලෙස විද්‍යමාන වන බවට ඇතැම් දේශපාලන විචාරකයින්ගේ මතයයි. 1996 දී රුසියාවේ කොමියුනිස්ට් පක්ෂය බලයට පැමිණීම වැළැක්වීම සඳහා ඩොලර් මිලියන 27ක් බොරිස් යෙල්සින් වෙත ලබා දීමත්, 2021 දී පේරූ හි pedro castillo බලයට පත්වීම වැළැක්වීම සඳහා ඩොලර් බිලියන 11ක ස්ථාවර තැන්පතුවක් වෙන්කිරීම තුලත් මුල්‍ය අරමුදලේ ණය ආධාර පිටුපසින් ඇති පැහැදිලි දේශපාලන හා කලාපීය අරමුණු නිදසුන් ලෙස ඔවුන් තවදුරටත් පෙන්වා දෙති.

Facebook
Twitter
LinkedIn