“අපි නීතිය හමුවට යනවා” – අනුර දිසානායක

“අපි නීතිය හමුවට යනවා” – අනුර දිසානායක

ජාතික ජන බලවේගයේ විරෝධතාවේදී මිය ගිය නිමල් අමරසිරි සහෝදරයා වෙනුවෙන් මානව හිමිකම් කොමිසමට පැමිණිල්ලක් ඉදිරිපත් කිරීමට සූදානම් බව ජාතික ජන බලවේගයේ නායක, කොළඹ දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී අනුර කුමාර දිසානායක පැවසීය.

මියගිය තැනැත්තා වෙනුවෙන් ඉදිරියේදී ගන්නා නීතිමය ක්‍රියාමාර්ග පිළිබඳ තම නීතිඥ කණ්ඩායම සමග සාකච්ඡා කරමින් සිටින බව ද ඔහු කීය.

එමෙන් ම, මෙය ආණ්ඩුව කළ ඝාතනයක් බවට ද මන්ත්‍රීවරයා චෝදනා කළේ ය.

“අපි මෙතෙක් උද්ඝෝෂණ, විවිධ සටන් ක්‍රියාමාර්ග කළා. හැබැයි අපි කිසිම උද්ඝෝෂණයක් විනය විරෝධීව කරලා නැහැ. ඉතාම විනයානුකූලව, ප්‍රජාතන්ත්‍රවාදීව, සාමකාමීව තමයි අපේ උද්ඝෝෂණ සිදුකර තිබෙන්නේ. අපි ගල් කැටයක්වත් මේ වන තෙක් අතින් අරගෙන නැහැ. පැහැදිලිව එදා 26 වන දා කිව්වා අපිට වාරණ නියෝග නිකුත් කළ ප්‍රදේශවලට අපි ඇතුළු නොවන බව. අපි ඉතා සාමකාමීව මෙම උද්ඝෝෂණයේ නිරත වන කොට පොලිසිය යොදා කඳුළු ගෑස් ගැහුවා.

කඳුළු ගෑස් වැදීමෙන්, තෙරපීමෙන් අපේ සහෝදරවරු ගොඩක් තුවාල ලබා මේ වනවිට රෝහල්ගත කරලා තිබෙනවා. ඒ මියගිය සහෝදරයා වෙනුවෙන් කළ යුත්තේ කුමක්ද කියා අපි ඒ පවුල සමග සාකච්ඡා කරනවා. ඇත්තට ම මේක මේ රනිල් වික්‍රමසිංහගේ මුග්ධ ප්‍රජාතන්ත්‍ර විරෝධී ක්‍රියාවක්. කෙනෙක් අනීතිකව, ප්‍රජාතන්ත්‍ර විරෝධීව මේ සිදුකරන ක්‍රියාවලියට ඉඩදිය යුතු නැහැ.”

අනුරාධා හේරත් – මව්බිම

Facebook
Twitter
LinkedIn

උණුසුම් පුවත්